ශ්‍රී ලංකාවට එන IMF නියෝජිතයන් විපක්‍ෂය ලෙස හමුවෙනවා – ජී. එල්. පීරිස්

108

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, විපක්‍ෂය ලෙස ඔවුන් හමු වී සාකච්ඡා කරන බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (11 දා) පැවසීය.

ඉහවහා ගිය වංචා දූෂණ හේතුවෙන් අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (11 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුව විසින් වංචා දූෂණ සෙවීමට පත් කරන කමිටුවලින් අපේක්‍ෂිත අරමුණු ඉටු කළ නොහැකි බවත්, එය හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් බවත් පැවසූ ඒ මහතා වංචා දූෂණ පිටුදැකීමට නම් අවංක දේශපාලන මැදිහත්වීමක් සිදුවිය යුතු බව කීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් මහජනතාව අන්ත දුගී බවට පත්ව ඇති බවත්. රජය විසින් සමාජ සාධාරණත්වය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් ඒ මහතා කීය. අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමය ඵල දැරීමට නම් ජනතා වරමක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත්, වත්මන් රජය මැතිවරණ භීතිකාවකින් පෙළෙන බවත් පැවසූ ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා චැනල් 4 ඉදිරිපත් කළ තොරතුරු පිළිබඳ විනිවිද පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව අවධාරණය කළේය.
චමින්ද සිල්වා


advertistmentadvertistment