ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලැට්වියා ජනරජයේ ජනපති එගිල්ස් ලෙව්ට්ස් අතර සුහද හමුවක්

174

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් මහතා අතර හමුවක් පෙරේදා (21දා) දහවල් සිදු විය. දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ද්විපාර්ශ්විකව ඉදිරියට ගෙනයෑම සඳහා ශක්තිමත්ව පියවර ගතයුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස විය.

 කොවිඞ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහව යෑමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

 අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත‍්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු විය.

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප‍්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු ඇමරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමු විය.

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment