ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්

102

14 වන දකුණු ආසියානු කායවර්ධන හා ශාරීරික ශූරතා තරගාවලිය

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන පෙරේදා (10දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය මාලදිවයින, මාලේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්‍රීඩකයින් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් 05 වැනිදා සිට 10 දා දක්වා පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උස සෙන්ටි මීටර් 180 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ සහන් දිල්රුක් සහ උස සෙන්ටි මීටර් 182 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ බුද්ධික ප්‍රසන්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව උස සෙන්ටි මීටර් 175 කාණ්ඩය යටතේ තරග කළ විශ්ව තාරුක එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

ඔවුන් අතරින් රන් පදක්කමක් දිනූ බුද්ධික ප්‍රසන්න සහ ලෝකඩ පදක්කමක් දිනූ විශ්ව තාරුක පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර රන් පදක්කමක් දිනා ගත් සහන් දිල්රුක් ඩුබායි හි සිය රැකියා ස්ථානය කරා ගොස් තිබුණි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් දෙදෙනා මාලදිවයින මාලේ නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 9660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩකයන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment