මනා ලෙස පිහිටි ශීර්ෂ රේඛාවක් හිමි තැනැත්තා හෝ තැනැත්තිය යහපත් වූ ශාරීරික හා මානසික තත්ත්වයකින් හෙබි අයකු වේ. ශීර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදී යන අතර, ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශය මානසික කොටස යනුවෙනුත් මැණික් කටුව දෙසට විහිද යන කොටස භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි.
පසුගිය නැකත කලාපය තුළින් අත්ලේ ප්‍රධාන රේඛාවක් වූ ජීවන රේඛාව පිළිබඳව විස්තර කළා ඔබට මතක ඇති. අද හඳුන්වා දෙන්නේ තවත් එවැනිම ප්‍රධාන රේඛාවක් පිළිබඳවයි. එය තමයි ශීර්ෂ රේඛාව. ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේත් ජීවන රේඛාව පටන් ගන්නා ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර ඇති ප්‍රදේශයෙන්. එම රේඛාව අත්ල මැදින් චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරුවෙමින් තම ගමන්මග අවසන් කරන බව රූපසටහනින් ඔබට පැහැදිලි වෙනවා ඇත. මානසික රේඛාව, චිත්ත රේඛාව ලෙස ද සමහරු හඳුන්වන මෙය, කිසියම් අයකුගේ මොළය, මනස හා සිත ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කරයි. ජීවිතයේ දියුණුව හෝ බිඳවැටීම, ඥානය, රෝග පීඩා සහ හිසේ ආබාධ, මෙම රේඛාවේ පිහිටීම අනුව නිශ්චය කළ හැකිය. ශීර්ෂ රේඛාව කෙනකුගේ අත්ලේ නොපිහිටියේ නම් හිස නැති ශරීරයක් හා සමානය.
මනා ලෙස පිහිටි ශීර්ෂ රේඛාවක් හිමි තැනැත්තා හෝ තැනැත්තිය යහපත් වූ ශාරීරික හා මානසික තත්ත්වයකින් හෙබි අයකු වේ. ශීර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදී යන අතර, ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශය මානසික කොටස යනුවෙනුත් මැණික් කටුව දෙසට විහිද යන කොටස භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි.
රූපසටහනේ පෙන්නුම් කරන මානසික කොටස ලෙස හඳුන්වනුයේ ශීර්ෂ රේඛාවේ උඩ පැත්තයි. භෞතික කොටස ලෙස හඳුන්වන්නේ ශීර්ෂ රේඛාවේ යටි පැත්තයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැනගත හැකිය. නොයෙකුත් ශාරීරික ක්‍රියාකාරකම් ආයුෂ, සමාජයීය බලපෑම්, ධනය වැනි කරුණු රාශියක් භෞතික කොටසින් දැනගත හැකිය. බාධක රේඛාවලින් නොකැපී, ඍජුව ගැඹුරුව දික්ව පිහිටි ශීර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්තියක් ඇති පුද්ගලයකු හඳුන්වා දෙයි.
නොපසුබට උත්සාහයත් අප්‍රතිහත ධෛර්යයත් උපතින්ම පිහිටන එවන් අත්ල හිමියන් මනා ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇතිකර ගන්නා අතර, ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කර ගනියි. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම්, බිඳීම්, දූපත් ලකුණු, දම්වැල්, කතිර, කුරුසය වැනි සලකුණු ඇතිනම් එමගින් ප්‍රකාශ වන්නේ මොළයට, හිසට සම්බන්ධ ආබාධ ඇති බවයි. හිසරදය, පීනස, නාසය හා කනේ ලෙඩ රෝග වැළඳීමටත් මෙම පිහිටීම් බලපානු ඇත.
මෙම ලකුණු අත් දෙකේම එක සමානව පිහිටියේ නම් එම කරුණු එලෙසම වේ. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් ආරම්භ වීම මොළයේ උණ සෑදීමට හේතු වේ. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය පටු වූ විට ඇදුම රෝගය සෑදීමට හේතු විය හැක. මෙම රේඛා දෙක අතර පුළුල් පරතරයක් වී නම් හෙතෙම අතෘප්තිකර හැඟීම්වලින් යුක්ත, අහංකාර ගතිගුණ ඇත්තකු වේ.
ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් කෙළවරවීම සියුම් කල්පනා ශක්තියක් ඇති බව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව ඇදවෙමින් විහිද ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් ඇති, නිතර අදහස් වෙනස් වන ගතිගුණ පෙන්වයි. ශීර්ෂ රේඛාව ඍජුව විහිද යා නම් හේ ස්ථිර අදහස් ඇත්තකු වේ. තම මතයටම අනුව ක්‍රියා කිරීම ඔහුගේ ලක්ෂණයකි. ශීර්ෂ රේඛාව – චන්ද්‍ර මණ්ඩලය විහිද යෑම, සෙනසුරු ඇඟිල්ල (මැද ඇඟිල්ල) මැද තාරකා ලක්ෂණයක් ඇතිවීම, උමතු බව ඇතිවීමට හේතුවේ. මෙය අත්ල දෙකේම එක ලෙසටම පිහිටියේ නම් එම කරුණ ස්ථිර ලෙසම සිදුවේ. ශීර්ෂ රේඛාවෙන් මතුවන ආරෝහන රේඛාවක් (උඩ අතට විහිදෙන) ගුරු මණ්ඩලයට විහිද යෑමත් වාසනාවන්ත පිහිටීමක්. එවැනි පිහිටීමක් ඇති අයට රජයේ උසස් තනතුරු ලැබීමට හේතු වෙයි. ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කිහිපයකට බෙදී යෑම ද සුභ පිහිටීමකි. උත්පත්තියෙන්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන් ද ඔවුන් පෙන්නුම් කරයි. යම් අයකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී තිබේ නම්, හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් නම් හේ හිසේ තුවාල ඇතිවූ කෙනෙක් වෙයි.
ශීර්ෂ රේඛාව මත හතරැස් කොටු සලකුණක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණ පෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්ෂා වෙයි. යමකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් පිහිටියේ නම් එම තැනැත්තා දෙයාකාරයක සිත් ඇත්තකු වෙයි. එක් අවස්ථාවක නපුරු කෙනෙක් ලෙස ද තවත් විටෙක ඉතා කාරුණික අයෙක් ලෙස ද පෙන්නුම් කරයි.
ශීර්ෂ රේඛාවේ අවසානය බොහෝ විට චන්ද්‍ර මණ්ඩලය දෙස යොමු වෙයි. එය කොතරම් දුරට චන්ද්‍ර මණ්ඩලය දෙසට යොමුවී ඇද්ද, ඒ තරමටම කෙනකුගේ සිතීමේ ශක්තිය වර්ධනය වනු ඇත. ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රචකයන් දාර්ශනිකයන් නීතිඥයන් මෙන්ම තර්ක කිරීමේ ශක්තිය ප්‍රගුණ කළ අය මේ යටතට ගැනෙයි.
ගුප්ත ශාස්ත්‍රී හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
0112419574, 0716212020