සබන් කැටයක් මිලදී ගන්න වී කිලෝ 2ක් විකුණගන්න වෙලා – ගයන්ත කරුණාතිලක (සජබ)

35

ජනපතිවරණ සටන ඇරැඹෙද්දී ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසකට අත්වී තිබෙන ඉරණම ශෝචනීයයි

ජනාධිපතිවරණ සටන ආරම්භ වෙද්දී රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ රැසකට අත්වී තිබෙන ඉරණම ශෝචනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා මෙසේද පැවැසීය.

ජනාධිපතිවරයා නායකත්වය ලබාදෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වනවිට මකුළු දැල් බැඳිලා , නෙළුම් මාවතේ තිබෙන පොහොට්ටු කාර්යාලය කණ්ඩායම් ගණනාවකට කැඩිලා ගිහින් තිබෙනවා. ඩාලි පාරේ තිබෙන පක්ෂ කාර්යාලයේ දොරවල් හැමවෙලාවෙම වහලා තිබෙන්නේ. පැලවත්තේ තිබෙන පක්ෂ කාර්යාලය ෆේස් බුක් කැම්පේන් එකෙන් ගොඩ යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් සමගි ජනබලවේගය රටපුරා ජනතාව ඒකරාශි කරගනිමින් දැවැන්ත බලවේගයක් ගොඩනගා තිබෙනවා.

රටම බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසට වෙනත් මගක් දැන් නෑ. ඔවුන්ට අවසානයේ අලි වල්ගයේ එල්ලිලා යන්න තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. තම පක්ෂය, පක්ෂයේ පාක්ෂිකයන් රැක ගන්න බැරි වුණ පුද්ගලයෙක් වෙනත් පක්ෂයක් ආරක්ෂා කරයි කියලා හිතනවානම් ඒක තමයි 21 වන සියවසේ විශාලතම දේශපාලන රැවටිල්ල.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලිලා ගොඩ යන්න උත්සහ කරන පොදුජන පෙරමුණේ කණ්ඩායමට මේ දිනවල ඇඟට වදින හුළගත් සැපැයි කියලා හිතෙනවා ඇති. නමුත් අලි වල්ගය අත් හැරිලා බිමට වැටුණ දවසට තමයි ඔවුන්ට සැබෑ තත්ත්වය තේරුම් යන්නේ.

මොනවා ඔවුත් අපි සතුටු වෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පාසල්වලට බස් රථ පරිත්‍යාග කරමින් , පාසල්වලට සුහුරු පන්තිකාමර ලබාදෙමින් රට වටේ යන විට ආණ්ඩුවට මැතිවරණ බිය දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. ළමා මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ලක්ෂ සංඛ්‍යාත දරුවන් පාසල් යන්නේ බඩගින්නේ බවත් විපක්ෂ නායකයා ප්‍රධාන විපක්ෂය විසින් සිදුකළ හඬ නැගීමට අවධානය යොමුකර වර්තමාන රජයේ අවසන් මාස කිහිපයේ ප්‍රේමදාස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දරුවන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව විපක්ෂය ලෙස සතුටු වෙනවා.

දිවා ආහාරය එක වසරේ සිට 5 වසර දක්වා දරුවන්ට ලබාදීමට තමයි රජය කටයුතු කර තිබෙන්නේ. ළමා පුර්ව සංවර්ධනය උදෙසා තමයි ආහාර වේල ලබාදෙන්නේ. අද වනවිට එකම පවුලේ විවිධ ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවන් පාසල් යන්නේ බඩගින්නේ. ඒ නිසා මෙම ආහාර වැඩසහනට 5 ශ්‍රේණිය දක්වා පමණක් සීමා නොකර අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ලබාදෙන්න සුදුසු කාලයක් බව ආණ්ඩුවට මතක් කරන්න කැමැතියි.

ඒ වගේම රසායනික පොහොර තහනම් කිරීමට ගත් අමනෝඥ තීරණය නිසා කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස සහ වැවිලි කර්මාන්තයේ නියැලි සිටින පිරිස් බරපතල අර්බුදකාරී තත්ත්වයකට මුහුණු දී සිටිනවා. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් වාසය කරන්නේ ආසියානු කලාපයේ. ආසියානු කලාපයේ වී ගොවිතැනට වැදගත් තැනැක් හිමිවෙනවා. ලංකාවේ ගොවිතැන ජීවිකාව කරගත් ලක්ෂ සංඛ්‍යාත ගොවිජනතාව අතර වැඩි පිරිසක් ඉන්නේ වී ගොවීන්. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් වී ගොවිතැන සිද්ධ වෙනවා. රජය බලයට පත් වුණාට පසුව ගොවීන් විශාල අර්බුදයකට ඇඳ දමන්න කටයුතු කළා. වැඩිම ගොවි උද්ඝෝෂණ රට පුරා සිද්ධ වුණේ මේ රජය පත් වුණාට පස්සේ. වී ගොවීන් අමාරුවෙන් ලබාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබීම සම්බන්ධයෙන් ගොවීන් දැඩි අපහසුතාවට මේ වනවිට පත්ව සිටිනවා. ගොවියාට සබන් කැටයක් මිලදී ගන්න වී කිලෝ දෙකක් වත් විකුණන්න අද සිද්ධ වෙලා තිබෙනවා. ගොවීන් භාවිතා කරන උදැල්ලක් රුපියල් 3000 කට වඩා වැඩියි. යන්ත්‍රසූත්‍රවල මිල , පොහොර මිල , ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගොවීන්ට මෙය දරාගැනීමට නොහැකි වෙලා තිබෙනවා.

ඒ වගේම මෙවර මහ කන්නයේ අස්වැන්න නෙළමින් තිබියදීම සහල් ආනයනයට පනවා තිබූ බද්ද අඩු කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. මෙයත් ගොවීන්ට බලපා තිබෙනවා. බදු සහනය නිසා ආනයනික සහල් තොග රට තුළට පැමිණීම සමඟ දේශීය ගොවීන්ගේ වීවලට නිසි මිලක් නොලැබී ගොස් තිබෙනවා. ඒ හරහා මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට වී මිලදී ගන්නා ආකාරය වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම දකින්න තිබෙනවා.

වී අලෙවි මණ්ඩලයට ස්වභාවික මරණයක් අත්කර දෙන්න රජය උත්සාහ ගනිමින් සිටිනවා. ගොවීන්ගේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් නිදහස් නොකිරීම හරහා වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක් බවට පත් වෙලා. ආණ්ඩුව ප්‍රකාශ කළා වි අලෙවි මණ්ඩලය වී මිලදී ගැනිම සිදුනොකරන නිසා වී මෙට්‍රික්ටොන් 66,0000 ක් දිස්ත්‍රික් ලේකම්වරු හරහා මිලදී ගන්න බව පැවසුවා. නමුත් එය නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment