ඉන්දීය ඉස්සා හෙනහුරෙක් වෙලා

4650

ඉන්දියාවෙන් අඩු මිලට මෙරටට ඉස්සන් රැගෙන විත් ශ්‍රී ලංකා සන්නාමය යටතේ යුරෝපීය රටවලට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට ඉස්සන් කර්මාන්තය කඩා වැටීමකට ලක්ව ඇති බැව් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය.

මෙම තත්ත්වය නිසා මෙරට ඉස්සන් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටීමට ලක්ව ඇති බවත් ප්‍රති අපනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඉස්සන් ගෙන්වීම නිසා වෛරස් හා බැක්ටීරියා යන රෝග කාරක මෙරට ඉස්සන් වගාවන් සඳහා බෝවීමේ අවදානමක් පවතින බවත් මෙම කාරක සභා

රැස්වීමේ දී අනාවරණය විය. මෙරට 25000ක් පමණ ඉස්සන් කර්මාන්තයේ නිරතව සිටි බවත් මේ වන විට එම සංඛ්‍යාව 11595 දක්වා අඩු වී ඇති බවත් ධීවර අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඉන්දියානු ඉස්සන් සඳහා යුරෝපීය වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නොමැති නිසා මෙරටට ඉස්සන් රැගෙන විත් යුරෝපීය රටවලට ශ්‍රී ලංකා සන්නාමය යටතේ ප්‍රතිඅපනයනය කරන බව ඉස්සන් කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. මේ තුළින් බදු වංචාවක් මෙන්ම ඉස්සන් කර්මාන්තයට ද වංචාවක් සිදුකොට ඇති බවත් මේ පිළිබඳ සොයා බලා ඉන්දියානු ඉස්සන් ප්‍රතිඅපනයනය කිරීම වහාම නතර කරන ලෙසත් කාරක සභාව විසින් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබාදෙනු ලැබීය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment