ගිනිගත් නැවේ නියෝජිතට ඇප

127

මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්, එම නැව් සමාගමේ මෙරට නියෝජිතයා සහ එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ඊයේ (01 දා* කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගය අවසන් වීමෙන් පසු අධිකරණයෙන් නික්ම ගිය අයුරු.  ඡායාරූපය – කමල් බෝගොඩ

ඒ. ජේ. ඒ. අබේනායක
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ගිනිගත් නැව අයිති සමාගමේ දේශීය සමාගමේ නියෝජිත සීකොන් සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංජීව සමරනායක මහතා දැඩි කොන්දේසි පනවා ඇපමත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01 දා* නියෝග කළේය.
 
 පසුගිය මැයි 20 වැනිදා දේශීය ජල තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව හිමි සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ සේවය කරන එම සැකකරු සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත හා වනසත්ත්ව හා වෘක්‍ෂලතා පනත යටතේ සිදුකරන විමර්ශනවල පස්වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. ඉදිරිපත් වී ඇති චෝදනාව අනුව ඔහු ඇපමත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත්, ඉදිරි විමර්ශන සඳහා අධිකරණයට
 
 ගෙන්වා ගත හැකි පරිදි ඇප කොන්දේසි පනවන ලෙසත් පැමිණිල්ල මෙහෙය වූ නියෝය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කළේය.
 
 සැකකරුට විදේශගතවීම වළක්වන නියෝගයක් ද එහිදී නිකුත් කළ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂයක මුදල් හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළ අතර නඩුව ලබන 15 වැනිදා දක්වා කල් තැබීමට ද එහිදී නියෝග කළේය.
 
 රජයේ අධිනීතිඥ ලහිරු ජයමාන්න, රජයේ අධිනීතිඥ මලික් අසිස්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි
 
 ගිරිහාගම මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
 
 නීතිඥ අසිත ජයවර්ධන, එරංග විජේසූරිය හා නීතිඥ මධුෂා කන්නන්ගර ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හා ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විත්තිය නියෝජනය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment