බැංකුවලට වන පාඩුව රු. බිලියන 97කට අධිකයි – උදය ගම්මන්පිල

151

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුව ද මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වන පාඩුව රුපියල් බිලියන 97 කට වැඩි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකුවලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙළිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පියවීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ඩොලර් මිලියන 886 ක් නැතිනම් රුපියල් බිලියන 272 ක්. මහ බැංකුව විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කරවල වටිනාකමින් 30% ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6 ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදුවෙනවා.

සංවර්ධන බැඳුම්කරවලින් 85% කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකුවලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 69 ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතනවලට ලබාදී තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323 ක් නැතිනම් රුපියල් බිලියන 92 ක්. ඒ ප්‍රමාණයෙනුත් 30% ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28 ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපා හැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රු. බිලියන 97 ක්. මීට අමතරව පොලියත් 35% කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 97 කට වැඩියි.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment