සමරිසි දෙදෙනා නිරුවත් කර කප්පම් ගත් තිදෙනා දැලේ

1

සමරිසි පුද්ගලයන් දෙදෙනකු මිරිහාන ප්‍රදේශයේ නිවසකට ගෙන්වාගෙන ඔවුන් නිරුවත් කර පහරදී නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් පුද්ගලයන් තිදෙනකු මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා කාලයක් තිස්සේ මේ ආකාරයට විවිධ පුද්ගලයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන සමරිසි පුද්ගලයකු කෝට්ටේ ප්‍රදේශයේ තවත් සමරිසි පුද්ගලයකුට මුණගස්සවා ඔවුන් ලිංගික දර්ශන සඳහා පොලඹවාගෙන ඒ සියල්ල වීඩියෝගත කිරීමට මෙම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇත.

පසුව එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව කියමින් ඔවුන්ට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන තිබේ.

මේ පිළිබඳව මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කිරීමට සමරිසි පුද්ගලයන් කටයුතු කර ඇත. විමර්ශන ආරම්භ කළ මිරිහාන පොලිසියේ නිලධාරීන් අදාළ කප්පම් මුදල රැගෙන යන ලෙස සමරිසි පුද්ගලයන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව එම කප්පම් මුදල් පිටකෝට්ටේ මංසන්ධියට රැගෙන ගිය අවස්ථාවේ එය ලබා ගැනීමට පැමිණ සිටි සැකකරුවන් තිදෙනා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් පුද්ගලයන් රැසකගේ නිරුවත් ඡායාරූප සොයාගෙන ඇත.

එම පුද්ගලයන්ගෙන් ද මෙම සැකකරුවන් මේ ආකාරයට කප්පම් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment