සරසවි අනධ්‍යයන සේවකයෝ මාරාන්තික උපවාසයකට සැරසෙති

1

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට ආණ්ඩුව විසඳුම් ලබානොදෙමින් කටයුතු කිරීම හේතුවෙන් ලබන සතියේදී මව් සංගමය සමග සාකච්ඡා කර සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාණ්ඩලික කළමනාකරණ සහකාරවරුන්ගේ සංගමයේ සාමාජික කුමාර වන්නිනායක මහතා ‘දිවයින’ට ඊයේ (28 වැනිදා) පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය ඉදිරිපිට තනා ඇති අට්ටාලයක හිඳිමින් සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නිරතව සිටින අවස්ථාවේ ඔහු එසේ කීය.

ඊයේ 58 වැනි දිනයටත් විශ්වවිද්‍යාල දහහතේම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ බවත්, සත්‍යග්‍රහය ඊයේ 12 වැනි දිනයටත් ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ කුමාර වන්නිනායක මහතා මෙසේ ද කීය.

අපේ ගැටලු විසඳන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. 2016 ඉඳන් අපේ වැටුප් විෂමතාවය ගැන කියන්නේ. ආපු සෑම ආණ්ඩුවක්ම කළේ මගහරින එකයි. මේ ආණ්ඩුව දැන් කරන්නෙත් ඒකයි. මේ ප්‍රශ්නය ආණ්ඩුව විසඳන්නෙ නැති එකෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටිලා. එතකොට විශ්වවිද්‍යාල අසල කෑම අලෙවි කරන, ෆොටෝ කොපි ගහන වෙළෙඳාම් කරන වෙළෙඳුන් අසරණ වෙලා. ආණ්ඩුව අපේ ගැටලුවලට විසඳුම් දෙන්නේ නැත්නම් ලබන සතියේ මාරාන්තික උපවාසයකට යනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment