පාතාලයට සල්ලි දුන්න කපුවා මම නොවෙයි…මගේ පිංතූරය දාලා තියෙන්නේ වැරදීමකින්….

1924

ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා ‘දිවයින’ට කතා කරයි…

ජූලි 30 වැනි “ඉරිදා දිවයින” පුවත්පතේ “පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජ්‍යොතිෂවේදියා” යන හිසින් පළ වූ ලිපියට අත්වැරදීමකින් අපේ රටේ සිටින පාරම්පරික ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයකුගේ ඡායාරූපයක් පළවීම නිසා ඒ මහතා දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අපට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නොයෙකුත් මාර්ග තිබියදී ඉතා කාරුණිකව තමන් මුහුණදුන් අපහසුතාව අපට කියූ ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා මහතා එම සිදුවීම සම්බන්ධයෙන් අපත් සමග මේ විදියට කථා බහ කළා.

● මුලින්ම ඔබේ වෘත්තියේ ස්වභාවය ගැන පැහැදිලි කරනවද?

ඔව්, ඒක බොහෝ වැදගත්. පුංචි කාලෙ ඉඳල තාත්තගෙ සීයගෙ ඇසුරේ හැදෙමින් වැඩෙමින් නිවැරදිව ගුප්ත ශාස්ත්‍රය ඉගෙන ගත්තු කෙනෙක්. ඒවගේම මම දින තුනෙන්, වරු තුනෙන් හැරගිය අය ගෙන්වන, තමන් කැමති ගෑනු පිරිමි වශී කරල දෙන, අනුන්ගේ දේපල අයිති කරගන්න උදව් කරන එවැනි අයගේ දියුණුවට බාධා කරන්න හදි හූනියම් කරනව වගේ කිසිම කෙනෙකුට අයහපතක් කරන කෙනෙක් නෙමෙයි.

ගුප්ත ශාස්ත්‍රය හදාරපු ඒ ශාස්ත්‍රයට ආදරය කරන කෙනෙක් හැටියට මම අන් අය වෙනුවෙන් කරන්නෙ හූනියන් කැපීම, යක්ෂ ප්‍රේත භූත දෝෂ ඉවත් කර ගේ දොර ආරක්ෂා කිරීම, ග්‍රහ අපල දුරු වී දියුණුවීමට යන්ත්‍ර පැළඳවීම වැනි යහපත් කටයුතු පමණයි. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මම පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥයකු පමණයි.

පාතාලයට සල්ලි දුන්න කපුවා මම නොවෙයි…මගේ පිංතූරය දාලා තියෙන්නේ වැරදීමකින්….

● ඒත් එම ලිපියේ ඔබේ නමක් සඳහන් වන්නේ නෑ.

ඔව් ඒක ඇත්ත. ඒත් මේ ලිපියේ නම් කියවෙන මධූෂ්, කන්ජිපානි සහ කැවුමා කියල කෙනෙකුට කෝටි 2 ක මුදලක් ජ්‍යොතිෂවේදියකු පොලියට ලබා දුන් බව කියමින් ඉහත නම් සඳහන් කළ තිදෙනාගේම කුඩා ඡායාරූප තුනක් ලිපියේ පළ කර කිසිදු අදාළත්වයක් නැති මගේ ඡායාරූපයක් විශාල ප්‍රමාණයෙන් පළකර කර තිබෙනවා. එම ඡායාරූපයේ ඉන්නේ රොෂාන් චානක තිසේරා බව මාව දන්න කියන ඕනම කෙනෙකුට එකවර හඳුනාගන්නට පුළුවන්. එතෙන්දි ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් අර විදියට රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දුන්නෙ මම කියල.

● ඔබ ඔය කියන පාතාලයේ පුද්ගලයින් අඳුරනවද?

පසුගිය කාලයේදී පාතාලයට සම්බන්ධ ප්‍රවෘත්තිවලදී මධුෂ් හා කංජීපානි කියන දෙන්නාගේ විස්තර ඇහිලා තියනවා. නමුත් කැවුමා කියන කෙනාගේ නමත් එදා තමයි මම ඇහුවේ. මම ඔය කිසිම කෙනෙක් ව ඇස් දෙකට දැකලා නෑ කතා කරලත් නැහැ. ඒක මම වගකීමෙන් කියනවා.

● ඔබට මේ වෙලාවෙ මෙම සිද්ධිය නිසා තර්ජන තියෙනවා ද?

ඔව් මේ ලිපියේ සඳහන් විදිහට මා පාතාලයට පොලියට දුන්නා කියලා සඳහන් ඒකේ අදහස වෙන්නේ මමත් පාතාලයට සම්බන්ධයි යන්න. අනික මේ පුද්ගලයින්ගේ තවත් මුදල් ප්‍රශ්න වගේම නඩු තියෙන්න පුළුවන් මේ පුවත් බලපු අය වෙන වෙන සිද්ධිවලටත් මට කතා කරන්න පුළුවන්. පොලිසිය, බුද්ධි අංශයත් මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්… අනික මම ටික කලක සිටම ලංකාවේ හොර කපුවන් හා හොර කට්ටඬි හෙළි කිරීමේ වීඩියෝ කරනවා. ඒ නිසා මට ඒ හොරුන්ගෙත් තර්ජන තියනවා. මගෙන් පලිගන්න කෙනාට මේක ලොකු රුකුලක්. මට මේක ජීවිත තර්ජනයක්.

● ඔබට තවත් මෙම සිද්ධිය ගැන මොනවාද කියන්න තියෙන්නේ…

මට මේ නිසා අනවශ්‍ය ප්‍රසිද්ධියක් උවමනා නෑ. මට වෙච්චි අපහාසය අපකීර්තිය පහවගියොත් ඇති… මොකද මේ පුවත්පතේ ලිපිය ලංකා පාතාල කියා එෆ්බී පේජ් එකකත් පළ කළා. මට කිසිම ප්‍රසිද්ධියක් උවමනා නෑ. මොකද මම ලංකාවේ සියලුම ප්‍රසිද්ධ ටීවී නාලිකාවල හා ප්‍රධාන පත්තර සියල්ලටම පාහේ ලිපි ලියා තිබෙනවා.

සාකච්ඡා කළේ –
ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment