පාසල් ලීග් ශූරතා රග්බි තරගාවලිය – ඉසිපතන සහ ශාන්ත පීතර අතර අවසන් සටන හෙට

171

පාසල් ලීග් ශූරතා රග්බි තරගාවලියේ ජයග්‍රහයකයන් තීරණය කෙරන අවසන් සටන හෙට (19 වැනිදා) ප.ව. 04.00 ට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

පසුගිය වසරේ ශූරතාව තහවුරු කරගෙන සිටින කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල එහිදී තරග වදී.

මෙවර තරග මාලාව තුළ සිටින එකම අපරාජිත කණ්ඩායම බවට ශාන්ත පීතර විදුහල පත්ව සිටින අතර ඔවුන් වාර්තා කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40 කි. ඒ අනුව ශාන්ත පීතර විදුහල ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවන අතර ඉසිපතන විදුහල හමුවේ සටහන්ව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 37 කි.

පසුගිය වර ලත් ජයග්‍රහණයේ කිරුළ ආරක්ෂා කර ගැනීමට ඉසිපතන විදුහල තම උපරිම ශක්තිය මෙදින යොදවන අතර එයට එරෙහිව අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගනිමින් “ඩයලොග්” කුසලානයේ ශූරයින් ලෙස කිරුළු දැරීමට ශාන්ත පීතර ක්‍රීඩකයන් උත්සාහ දරනු ඇත.

මූලික වටයේදී කොළඹ රාජකීය විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ සහිරා විදුහල පරාජය කිරීමට පීතර විදුහල සමත් වූ අතර සුපිරි වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 29 – 00 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් පෙරමුණ ගත්තේය.

ඉසිපතන විදුහල හමුවේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල මූලික වටයේ දී පරාජය ලැබූ අතර සුපිරි වටය අරඹමින් පැවති පළමු තරගයේදී කොළඹ රාජකීය විදුහල හමුවේ පමණක් ලකුණු 22 – 17 ක පරාජයක් ඉසිපතන විදුහලට හිමි විය.

මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය සනාථ වන තරගය ද හෙට (19) ප.ව.04.00 ට මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත්වෙන අතර එහිදී කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සටන් වදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment