QR ඉවරයි – පිරිවැය දරාගන්න මිල වැඩි කරන්න වෙනවා

1181

ඉන්ධන ගාස්තු වැඩි කළේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩි නිසා – ඇමැති කංචන

ඒස් ඇඹිලිපිටිය බලාගාරයේ විදුලි ඒකකයක් රු. 54 ක් වුණත් අපි ගෙවන්නේ රු. 8.01 යි

වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ඉන්ධන කෝටා ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 පමණ සිට 110 දක්වා ඉහළ යෑම නිසා පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදු වූ බව කොළඹ 07, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව පෙරේදා (31 දා) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13.00 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් එකකින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ද ඉහළ දැමීමට සිදු වූ බව ඇමැතිවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීම වෙනුවට අනෙකුත් ඉන්ධන මත ඒ වැඩිවන මිල පතිත කිරීමට හැකියාවක් නොමැති බව ද ඇමැතිවරයා පැහැදිලි කළේය.

ඉන්ධන මිලදී ගැනීමට වැය වන පිරිවැය දරා ගැනීමට නම් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වී ඇතැයි ද පිරිවැය පියවාගත නොහැකි වුවහොත් යළි රට තුළ ඉන්ධන හිඟයක් මතුවන බව ද කංචන විජේසේකර මහතා කීය.
QR ක්‍රමවේදය වසරකට පසුව ඉවත් කළත් එමගින් තෙල් සංචිත, අලෙවි කළ ප්‍රමාණයන් හා ඉල්ලුම සැපයුමට අදාළ සියලු තොරතුරු ලබා ගැනීමට හැකි වූ බැවින් ඒ සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට අවධානය යොමු වී තිබෙන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස පහළ බැස තිබුණත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව රටටම විදුලිබලය ලබාදෙන බව ද ඇමැතිවරයා මේ අතර කියා සිටියේය.

ඒ අනුව හදිසි මිලදී ගැනීම් යටතේ මාතර ඒස් පවර් පුද්ගලික ඩීසල් බලාගාරයෙන් මේ වන විට මෙගාවොට් 24 ක් ජාතික විදුලි බද්ධතියට එක්කර ඇත. ඊට අමතරව ඇඹිලිපටිය ඒස් පවර් බලාගාරයෙන් නිපදවන මෙගාවොට් සියයක් අද (02 දා) ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය. එම බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව මගින් ලබාදෙන අතර මාතර බලාගාරයේ විදුලි ඒකකයක මිල රුපියල් 55 කටත්, ඇඹිලිපටිය බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා රුපියල් 54 ක පිරිවැයක් දැරීමට සිදුව ඇත. ඉන්ධන මිල රජය විසින් දැරූ පසු අදාළ බලාගාර දෙකට ලංවිම ගෙවන්නේ පිළිවෙළින් විදුලි ඒකකයකට රුපියල් 8.01 ක් සහ රුපියල් 7.91 ක් පමණකැයි ද ඇමැතිවරයා පැහැදිලි කළේය. කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ ඇති ලංවිමට අයත් ජීටී – 7 බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඩීසල් මිල ඉහළ යෑම නිසා බස් ගාස්තු ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳව නැගුන ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා කියා සිටියේ ඩීසල් මිල ඉකුත් කාලයේදී රුපියල් 120 කින් පමණ පහළ ගියත් බස් ගාස්තු අඩු නොකළ නිසා ඒ පිළිබඳ රජයේ මැදිහත්වීම මත යම්කිසි පියවරක් ගන්නා බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද මෙම පුවත්පත් සාකච්ඡාවට එක්ව සිටියහ.

ශිරාන් රණසිංහ, ඡායාරූපය සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment