මොන තහනමක්ද? ගාලු මුවදොරට දැන් හුළංවත් නෑ…

829

හමුදාවෙ ළමයි මහන්සිවෙලා පිට්ටනිය හදනව. සංදර්ශන හින්ද පිට්ටනියට හානි වෙනව…..
දේශපාලන රැස්වීම්, සංදර්ශන තහනම් කළ එක හොඳයි…..
හුළඟ නැති හින්ද දැන් සරුංගල් යවන්නත් බෑ…..

හිරු අවරට ගොස් හෝරාවක් දෙකක් ගතවී ඇත. එහෙත් හිරු ගිනියම පහව ගොස් නැත. ගාලුමුවදොර දකින්නට ලැබෙන්නේ පාළුවට ගිය ස්වභාවයක්ය. එසේ වීමට බලපාන ලද්දේ මේ දිනවල පවතින උෂ්ණ කාලගුණය විය හැකි යැයි අනුමාන කළ අප, ගත දවන දාහයක් පැවතිය ද එහි ඔබ මොබ සැරිසරන්නට වූවේ වැදගත් මාධ්‍ය කටයුත්තක් පිණිසය. ගාලුමුවදොර පිටියට දකුණු පසින් ඉදිවෙමින් පවතින වරාය නගරය දැකගත හැක. රළ බිඳෙන හඬ වෙනදා මෙන්ය. ඈත සිට එන රළ රැලි ගාලුමුවදොර වෙරළ තීරය මතින් තම ගමන නිමා කරන ආකාරය චමත්කාර ජනකය.

එම චමත්කාරය දෙස් විදෙස් සංචාරකයන්ට රිසිසේ අත්විඳීමේ අවස්ථාව දැන් උදාවී ඇත. ඊට හේතුව බවට පත්වන්නේ ඉකුත් 20දා සිට එම භූමි ප්‍රදේශය දේශපාලන රැස්වීම්, සැනකෙළි ආදියට තහනම් භූමියක් බවට පත්කිරීමට රජය විසින් තීරණය කරනු ලැබීමය. සුවිශේෂී ආගමික උත්සවයකට හැර දේශපාලන කයිවාරු, බොරු සෝභන සඳහා මින් මතු ගාලුමුවදොරට පිවිසීමට කිසිවකුට වරම් නැත.

1859 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි වෝඩ් විසින් අශ්වයන් පැදීම හා ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්කරන ලද මෙම බිම් තීරය එකල අද දකින්නට ලැබෙන ගාලුමුවදොරට වඩා විශාල භූමියක්ව පැවති බව ඒ පිළිබඳ ඉතිහාසය කියවා බැලීමේදී මනාව පැහැදිලි වන කරුණක්ය. එකල එය හඳුන්වා ඇත්තේ කල්පිටි තුරඟ ධාවන පිටිය ලෙසය.

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා සිය සුපුරුදු දින චර්යාවේ එක් අංගයක් වූ අසුන් පැදයෑමේ නිරතව සිටින අතරතුර 1952 මාර්තු මස 22 වන දින උදෑසන අසු පිටින් වැටී මියයෑමේ සිට ඉකුත් වර්ෂයේදී නිමාවට පත්වූ ගාලුමුවදොර ජනතා අරගලය තෙක් ගාලුමුවදොර පසුබිම් කරගත් විවිධ අතීත සිදුවීම් රැසක් පවතින අතර ගාලුමුවදොර බෙහෙවින් ජනප්‍රියව පවතින්නේ රටේ ඕනෑම පුරවැසියකුට නිදහසේ කාලය ගත කළ හැකි හිස්, නිදහස් භූමියක් ලෙසය.

එම නිදහස තව තවත් අර්ථවත් කිරීම පිණිසත් ගාලුමුවදොර පිටියේ සුන්දරත්වය ආරක්‍ෂා කරනු පිණිසත් ඉකුත් 20 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි එහි සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු පිණිස ගාලුමුවදොර පිටිය භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය පිළිබඳ විවිධ මත පළවෙමින් ඇත. ඇතැමුන් විසින් සඳහන් කර සිටින්නේ ගාලුමුවදොර පිටියේ ආරක්‍ෂාව පිණිස රජය විසින් යහපත් චේතනාවෙන් එවැනි තීරණයක් ගෙන ඇති බවත්ය. තවත් පිරිසක් සඳහන් කර සිටින්නේ කලක් අරගල භූමියක්ව පැවති ගාලුමුවදොර පිටිය තවදුරටත් ජනතාවගෙන් ඈත් කිරීම පිණිස රජය විසින් ගත් උපායමාර්ගික ක්‍රියාවක් ලෙස එම තීරණය නම් කළ හැකි බවය. එවැනි විවිධ මතවාද පවතින වටපිටාවක අප ඉකුත් දිනක එහි සංචාරයක නිරත වූවේ ගාලුමුවදොර ඇත්ත මහපොළොව මත ජීවිතය ගැටගසා ගන්නා මිනිසුන් මුණගැසී එම තීරණය පිළිබඳව ඔවුන්ගේ අදහස් උදහස් දැනගැනීම පිණිසය.

මොන තහනමක්ද? ගාලු මුවදොරට දැන් හුළංවත් නෑ…

එහිදී විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන විවිධ පුද්ගලයන් සමග කතාබහ කිරීමේ අවස්ථාව උදාවූ අතර කොළඹ ‘ගෙදරක්’ නම් එහි ‘මිදුල’ ලෙස ගැනෙන ගාලුමුවදොර පිටිය පිළිබඳ අදහස් දැක්වූ ඇතමෙක් එම තීරණය නිවැරැදි බව ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් සඳහන් කර සිටියේ එය දේශපාලන උප්පරවැට්ටියක් විය හැකි බවය. පහත පළවන්නේ නොබියව තම අදහස් ප්‍රකාශයට පත් කළ ඇත්ත මිනිසුන් අප හා අදහස් දක්වමින් කළ කී දෑය.

හැට හැවිරිදි ‘නවා’ යනු ගාළුමුවදොර පිටිය තුළ වසර 40 ට අධික කාලයක් වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකි.

ගාලුමුවදෙරට පැමිණෙන ජනතාවට කුමක් හෝ අලෙවි කොට කීයක් හරි මුදලක් උපයා ගන්නා ඔහු වරෙක වඩේ වෙළෙන්දෙකු ලෙසත් තවත් වරෙක සරුංගල් වෙළෙන්දෙකු ලෙසත් ඒ කටයුත්තේ නිරත වන අතර ගාලුමුවදොර ඉතිහාසය පිළිබඳ රසවත් කතා බොහෝමයක් ඔහු සතුව ඇත. ඉකුත් 20 වැනිදා සිට දේශපාලන රැස්වීම් හා සැණකෙළි ආදිය පිණිස ගාලුමුවදොර පිටිය තහනම් කලාපයක් බවට පත්වීම පිළිබඳ අප ඔහුගෙන් විමසා සිටියේ ඒ ආශ්‍රීත ජංගම වෙළෙඳාමේ නිරත ‘නවා’ ඇතුළු තවත් විශාල පිරිසකගේ ‘එදා වේල’ පිණිස එම තීරණය කොතෙක් දුරට බලපාන්නේ දැයි යන්න විමසා බැලීම පිණිසය. කුඩා ලෑලි බංකුවක් මත අසුන්ගෙන දිවා ආහාරය භුක්තිවිඳිමින් සිටි ‘නවා’ ආහාර ගැනීම මඳකට නතර කොට කතාව ආරම්භ කළේය.

‘මගේ තාත්තා සත තුනට සරුංගල් විකුණන කාලයේ ඉඳල මං මේ පිට්ටනියේ ඉන්නවා. මං ඒකාලේ පොඩි එකා. රටේ නොයෙක් ප්‍රදේශවලින් කණ්ඩායම් වශයෙන් මෙතනට ඇවිත් විනෝද වෙන පුරුද්දක් එදා තිබුණා. රට කජු, කඩල, වඩේ උණු උණුවේ විකුණන්න පුළුවන්. හවස් වෙද්දී මුළු අහසම සරුංගල්වලින් පිරිලා. ඒව අපේ රටේ අපේම මිනිස්සු හදන සරුංගල්. බලන්න ලස්සනයි. මහත්තයලට පේනව ඇති නේ අද එක සරුංගලයක් උඩ යන්නෙ නෑ. දැන් වේලාව 3.30 යි. ඉස්සර මේ වෙද්දී සරුංගල් පනහක් හැටක් උඩ පාවෙනව. අද සරුංගල් නැත්තෙ මොකද කියල කවුරු හරි හොයල බලල තියෙනවද? නෑ. සරුංගල් නැති හේතුව මම කියන්නම්. මං වගේ එදා වේල හොයාගන්න මිනිහෙක් කියන කතාවක් හින්ද හුඟ දෙනෙක් මේක ගණන් ගන්න එකක් නෑ. නමුත් මම කින්නෙ ඇත්තක්ද නැත්තක්ද කියල හොයල බලන්න පුළුවන්නේ.

ඉස්සර වගේ අද ගෝල්ෆේස් පිට්ටනියට හුළග‘ එන්නෙ නෑ. වරාය නගරය ඉදිකරන්න මුහුද ගොඩ කිරීමත් එක්ක සුළඟ එන එක තරමක් දුරට අඩු වුණා. ඊට පස්සේ ඉදිකිරීම් ආරම්භ කරන්න ගත්තනේ. ඊට පස්සේ සුළඟ එන එක හොඳටම අඩු වුණා. උදේ ඉඳන්
රෑ වෙනකම් මෙතන ඉන්න මිනිස්සු විදිහට ඒක අපට දැනෙන්න ගත්ත. දැන් ඒක අපි විතරක් නොවෙයි හුඟ දෙනෙක් දැන් මේක දන්නව. ඒ හින්ද ඉස්සර වගේ සරුංගල් යවන පිරිස් දැන් ගෝල්ෆේස් එන්නෙ නෑ. ඔහේලටත් පේනවනේ. ඒක සරුංගලයක්වත් උඩ නෑ. ඒ හින්ද සරුංගලයක් විකුණල කීයක් හරි හොයාගත්ත අපි වගේ මිනිස්සු අද නන්නත්තාරයි. මොනව කරන්නද මහත්තයා. දැන් මහත්තයල ඇහුවනේ ගෝල්ෆේස් එක සැණකෙළිවලට දේශපාලන රැස්වීම් ආදියට තහනම් කරපු හින්ද අපේ ආදායම් මාර්ග ඇහිරෙනවද කියලා. එහෙම දෙයක් වෙන එකක් නෑ. ඒ දේවල් නෑ කියල මිනිස්සු නෑවිත් ඉන්නෙ නැහැනේ. එහෙම එන මිනිස්සුන්ට මොනව හරි දෙයක් අලෙවි කරල සාධාරණව කීයක් හරි අපිත් හොයා ගන්නව. රජය ගන්න තීරණ වෙනස් කරන්න අපිට බැහැනේ.’

‘නවා’ ගෙන් සමුගත් අප ඊළඟට නතර වූවේ ගාලුමුවදොර ජංගම අලෙවි සලක් පවත්වාගෙන යන කාන්තාවක් අසල. ඇය නමින් කාන්ති කුමාරිය. වසර 20 ක් තිස්සේ ගාලුමුවදොර කේන්ද්‍රකර ගනිමින් දිනපතා වෙළෙඳාමේ යෙදෙන කාන්ති කුමාරි වෙතද ඉහත පැනය යොමු කළ අප පිළිතුරක් අපේක්‍ෂා කරන්නට වූහ. ඒ බව වටහා ගත් කාන්ති කුමාරී එම තීරණය පිළිබඳ ඇගේ මතය අප හමුවේ ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන්ය.

‘රජය ගත්ත ඒ තීරණය හොඳයි. අපි දන්න දවසේ ඉඳල පවුල් පිටින් විශාල වශයෙන් මෙතනට ඇවිත් සතුටු වෙලා යනවා. එහෙම එන අයගෙන් මෙතන තියෙන සුන්දරත්වයට කිසිම හානියක් වෙන්නෙ නෑ. කාල බීල නිදහසේ ඉඳල ඒ අය යන්න යනවා. දේශපාලන රැස්වීමක්, කානිවල් එකක් තිබුණොත් එහෙම වෙනවද? නෑ මුළු පළාතම විනාශ වෙනවා.

හමුදාවේ ළමයි රැයක් දවාලක් නැතිව වැඩ කරල තණ කොළ ටික වවන්න ඊට අමතරව වට පිටාව ලස්සනට තියාගන්න ලොකු මහන්සියක් ගන්නව. කානිවල් එකක් සතියක් තිස්සේ තිබුණොත් ඒ මහන්සියෙන් වැඩක් නැති වෙනව. ටකරන් පටවගත්ත ලොරි හත අටක් පිට්ටනියට ආව ගමන් තණ කොළ ටික මැරිල යනව. ඒ හින්ද පරිසරයේ ආරක්‍ෂාව පිණිස හිත යොමුකරල රජය විසින් මේ වගේ තීරණයක් ගත්තනම් ඒක හොඳයි කියල තමයි අපිත් කියන්නේ. අපේ වෙළෙඳාමට හොඳ කලක් යයිද නොයයි ද කියල ඊට පස්සේ කතා කරන්න පුළුවන්.’

ඉන් අනතුරුව අප හා අදහස් දක්වන ලද්දේ මොහොමඩ් ඉස්මයිල් විසින්ය. කලක් තිස්සේ ගාලුමුවදොර ආශ්‍රීතව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ඉස්මයිල් ඔහුගේ අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේ තහනමක් ඇතත් නැතත් ගාලුමුවදොර ව්‍යාපාරික කටයුතුවල නිරත බොහෝ පිරිසකට මේ වනවිට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත් ඔවුන් කඩ කාමර තුළ සිරකරුවන් පිරිසක් බවට පත්ව ඇති බවත්ය.

‘මම කාලයක් තිස්සේ මේ අවට ජංගම වෙළෙඳාමේ යෙදිල මගේ දරු පවුල රක්‍ෂා කරපු කෙනෙක්.

ගෝඨාභය මහත්තය ජනාධිපති වුණාට පස්සේ ස්ථිර කඩ කාමරයක් හදල ඒව අපිට භාර දෙන්න තීරණයක් ගත්තා. නමුත් එතුමට ඒක නිමාවට පත් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ කොහොම වුණත් ඒ කඩ කාමර 42 හදල දැන් අපිට භාරදීලා තියෙනවා. එක කඩ කාමරයක් ලබාගන්න රුපියල් ලක්‍ෂ එකහමාරක් ගෙවන්න වුණා. දැන් අපි බිස්නස් කරන්නෙ ඒ කඩ කාමර ඇතුළේ. ඉරිදා සෙනසුරාදාට කීයක් හරි හොයාගන්න පුළුවන් වුණත් අනිත් දවස් පහට ලොකු වෙළෙඳාමක් නෑ. ඒකට එක හේතුවක් තමයි ඉස්සර වගේ ජනතාවක් දැන් මේ ස්ථානයට නොපැමිණීම. ඒ වරද කාගෙවත් පිට පටවන්න බැහැ. අනිත් හේතුව තමයි කඩ ගත්ත අය ඒ කඩ තියෙද්දී අර ඉස්සර වගේම පිට්ටනියේ ජංගම වෙළෙඳාම් කිරීම. එහෙම කරද්දී මිනිස්සු පඩි පේළි බැහැගෙන කඩවලට එන්නෙ නෑ. ජංගම වෙළෙන්දන්ගෙන් තමයි බීම බෝතලය පවා ගන්නේ. ගාලුමුවදොර අලංකාරය පිණිස නම් ඒවත් නවත්වන්න ඕන. එතකොට තමයි මෙතනට එන පිරිස් කඩේකට ඇවිත් අවශ්‍ය කෑමක් බීමක් මිලට ගන්නෙ. කඩ ගත්ත අය ඒ කඩ වහල දාල අර පරණ පුරුදු ආකාරයට වෙළෙඳාම් කරද්දී ලක්‍ෂ ගණන් දීල කඩ අරගත්ත අපි කඩේ ඇරගෙන මුහුද දිහා බලාගෙන ඉන්නව. ගාලුමුවදොර අලංකාරය පිණිස නම් ඒ දෙවල් පවා වෙනස් විය යුතුයි.’

ආර්. රොෂාන්

‘බිස්නස් නෑ. ලක්‍ෂ එකහමාරක් දීල කඩයක් අරගෙන ඒක ඕපන් කරන් හිටියට වැඩක් නෑ. සමහර දවසට රුපියල් පන්සීයක බඩු විකුණන්න බැහැ. මම වැඩ කරන්නේ මාසේ පඩියට. මගේ පඩි ගෙවන්නවත් ආදායමක් මේ ස්ථානයෙන් ලබාගන්න බැරි තත්ත්වයක් තමයි අද තියෙන්නේ.’

ගාලුමුවදොර පිටිය කේන්ද්‍රකර ගනිමින් ව්‍යාපාරික කටයුතවල නිරත බොහෝ දෙනෙක් පවසා සිටින්නේ කලක පටන් ගාලුමුවදොරට නරක කල දසාවක් උදාවී ඇති බැවින් සිය වෙළෙඳාම් කටයුතු පවා දැඩි අවධානමකට ලක්ව ඇති බවත්ය. ඉකුත් 20 දා සිට ක්‍රියාත්මක පරිදි දේශපාලන රැස්වීම්, උත්සව සැණකෙළි ආදියට එම භූමිය තහනම් කලාපයක් වීම පිළිබඳ ඔවුන් උනන්දුවක් නොදක්වන අතර ඇතැම් වෙළෙඳුන් සඳහන් කර සිටියේ එය රජයක් විසින් මෑතකදී ගත් හොඳ තීරණයක් බවයි. කෙසේ වුවද ඉකුත් දිනක ගාලුමුවදොර හා ඒ අවට අප කළ සංචාරයකදී පෙනී ගියේ කොළඹ පිහිටි විශාලතම නිදහස් භූමි භාගයක් වන ගාලුමුවදොර වෙනදාට දකින්නට ලැබෙන ජනී ජනයාගෙන් හිස්ව පවතින භූමියක් බවට පත්ව ඇති ආකාරයක්ය. වෙනත් දිනවල සවස් යාමයේදී ගාලුමුවදොර නිදහසේ සුවවිඳින පෙම්වතුන් මෙන්ම සාමාන්‍ය ජනයා ද එහි දකින්නට නැත.

කෙසේ වෙතත් මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් මේ වනවිට ගාලුමුවදොර වෙන් කර ඇත. සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇත. ඒ අනුව මේ වනවිට එහි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් වැය කර ඇත. ඒ අනුව ඉදිරියේදී කොළඹ සිරිය තව තවත් ඔප්නැංවීම පිණිස ගාලුමුවදොර වෙරළ තීරයට යාබදව පිහිටි ගාලුමුවදොර පිටිය වඩාත් සුන්දර හා ආකර්ෂණීය මුහුණුවරක් ගනු ඇත.

රුවන් ජයවර්ධන
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment