නාගරික පාසල් තවදුරටත් වැසේ

153

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට සිදුකිරීමට නොහැකි නිසා අදින් (27දා) ආරම්භ වන සතිය තුළ ද නාගරික ප්‍රදේශවල පිහිටි පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (26දා) පියවර ගෙන ඇත.

එමෙන්ම අද ආරම්භ වන සතිය තුළ උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ ද සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව 2022 ජුනි 25 දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වූ සතිය තුළ පාසල් පවත්වන ආකාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන ලදී. එසේ වුවද පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දන්වා ඇති බැවින් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පාසල් පවත්වාගෙන යෑම පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් පවතී.එම නිසා බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කරන ලදී.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුළ පසුගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ. එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හි පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී ඇත.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යෑම පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment