සල්ලි… සල්ලි කළු සල්ලී අපි ඕවට නෑ මල්ලී

800

කළු සල්ලි කන්ද යට දේශපාලන දුර්ගන්ධය!

දේශපාලන කැළඹිලි නිසා හෙම්බත් වී සිටින ජනතා හිස මතට දේශගුණික විපර්යාසයේ දුක් පීඩාවන් ද කඩාවැටී තිබේ. ස්වභාව ධර්මයේ විපාක ලෙස එළැඹෙන බොහෝ විපත් වළක්වා ගැනීම අසීරු වුව ද ඒවා යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් හෝ අපට නැත. කුමක් වුවත් මේ හැම විපතකින්ම පදම් වී ඒවා විඳ දරා ගැනීමට ද අපේ ජනතාව ද හුරුවී සිටිති. අප විසින් බොහෝ විට අවධාරණය කරන ලද පරිදිම අද මේ රටේ උද්ගතව තිබෙන සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අර්බුද සඳහා මෙතෙක් සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ද ආණ්ඩුව අසමත් වී ඇත. අයහපත් කාලගුණ බලපෑම්වලින් දුකට පත් ජනතාවට සහන සලසා දෙන ලෙස ජනාධිපති රනිල් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. දුකට පත් ජනතාවට ආහාර, බෙහෙත් ආදී වෙනත් පහසුකම් සැලසීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වුවද මෙරටේ දැන් සෑහෙන කලක සිට ස්වභාවික විපත් එනම් මහ වැසි එයින් සිදුවන නායයෑම් ආදිය පිළිබඳ විවිධ වාර්තා ලැබේ. ‘වස්සාන කාලය’ හෙවත් වැසි ලැබෙන විට ජන ජීවිත සුඛිත මුදිත වූ බවට අපේ ඉතිහාසයේ සටහන් වුවත් දැන් වැස්ස යනු මහා දුකකි. ‘දෙවො වස්සතු කාලෙන රාජා භවතු ධම්මිකො’ යන බුද්ධ භාෂිතය ද අපේ ජනතාවට හුරු වූවකි. නිසි කලට වැසි නැතිව ගම්බිම් පාළුවීම රජවරුන්ගේ හෙවත් පාලකයන්ගේ දොසක් නිසා උද්ගත වූ බව එදා සම්මතය වී තිබුණි. කුඹුරු ගොඩකර කම්හල් ඉදිකිරීමේ ආර්ථිකය වඩා යහපත් බව එදා පැවසූ අපේ වත්මන් ජනාධිපති රනිල් අද අවධාරණය කරන්නේ බතින් බුලතින් සපිරුණු දේශයකි. දිළිඳු බවින් කුසගින්නෙන් පීඩාවට පත් කිසිවෙක් අත්නොහැරිය යුතු බව ජනාධිපති දැක්ම වී තිබේ. දුප්පත්කම අලෙවි කරමින් දේශපාලන ගිණුම් තරකර ගත් රටක් වුව ද යම් යම් කාල වකවානුවල ඒ දරිද්‍රතාව දුරලීම සඳහා සැලසුම් සකස් වූ බව ද සඳහන් කළ යුතුය. ජනසවිය, සමෘද්ධි, දිවි නැඟුම වැනි වැඩපිළිවෙළක සංකල්පීය වටිනාකම් තිබුණත් ඒවායේ ප්‍රතිලාභ ජනතාව අතරට ගලාගිය ආකාරය යහපත් නොවීය. සමෘද්ධිය ලැබුණු මුදලාලිවරු ද මෙරටේ වූහ. ඒ කුමක් වුවත් ස්වභාවික විපත්වලින් ජනතාව මුදා ගන්නා ජාතික වැඩපිළිවෙළක් මෙරටේ ක්‍රියාත්මක වූ බවක් කිව නොහැක. 1980 දී කොළඹ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ලංකාවේ ස්වභාවික විපත්වලට මුහුණදීම, ඒවායින් විපතට පත් ජනතාව සුරක්‍ෂිත කිරීම ආදිය පිළිබඳ පුළුල් අවධානයක් ද යොමුව ඇත. අනතුරුව 1984 දීත් මෙබඳුම සම්මන්ත්‍රණයක් පවත්වා ඇති බව වාර්තා වේ. එහෙත් එදා යෝජනා වූ ජාතික ආපදා වැළැක්වීමේ සැලසුම් කිසිවක් ඉදිරියට ගෙනයෑමට දේශපාලන බලධාරීන් උනන්දු නොවූ බව ද සඳහන් වේ. ඇත්ත වශයෙන්ම අද සිදුවන්නේ ද ආපදාවන්ට ගොදුරු වූ ජනතාවගේ සංවේදී පුවත් හා වාර්තා කියවා දිගු හුස්මක් පිටකර හිත සැහැල්ලු කර ගැනීමක් පමණි. වැස්ස මෙන්ම නියඟය ද අපට හුරු පුරුදු ආපදාවන් බවට පත්ව තිබෙන්නේ ද අපේ දේශපාලන කැළඹීම්, ගටුම් නිසා බව පමණක් සඳහන් කරමු. රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ප්‍රබන්ධ කරන ලද අගනා ගීතයක සඳහන් වූයේ ද, අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ අවමඟුලට කිසිදු රජ මැඳුරක සුදු කොඩියක් හෝ නොනැඟෙන බවය. ඒ නම් අපේ දේශපාලනය!

දැන් අපි මේ වන විට උද්ගතවී තිබෙන දේශපාලන කැළඹීම් වෙත මඳක් යොමුවෙමු. අපගේ වැටහීම අනුව, අද බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙන ප්‍රධාන මාතෘකා දෙකක් තිබේ. පළමුවැන්න ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයයි. අනෙක දේශපාලන, ආගමික, කලා ආදී ක්‍ෂේත්‍ර ගණනාවක පැටලී සිටින කුප්‍රකට හෙරක ලෙස චෝදනා ලැබූ කාන්තාවකගේ මහා පරිමාණ මුදල් වංචාවකි. බොහෝ විට දේශපාලනය හා මුදල් යනු එකම කාසියක දෙපැත්තක් වැන්න. දේශපාලන බලය සඳහා මුදල් අවශ්‍ය වන්නා සේම මුදල් ඉපයීම සඳහා ඒ දේශපාලනය අවභාවිත කිරීම ද අද වන විට රටම අගාධයට ඇදගෙන යන මහා විපතක් බවට ද පත්ව තිබේ. මුදල් ලෝභය නැතහොත් ධන තෘෂ්ණාව නිසා දේශපාලනය කුණුවී තිබෙන ආකාරය කෙබඳු දැයි පාසල් දරුවෝ පවා දනිති.

සල්ලි... සල්ලි කළු සල්ලී අපි ඕවට නෑ මල්ලී

මුදල් යනු සමාජයක වටිනාකම් මැන බැලෙන මිනුමක් වැන්න. සමාජ ක්‍රියාකාරකම් සඳහා මුදල් අත්‍යවශ්‍ය වේ. ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් ප්‍රාග්ධනය හැඳින්වූයේ ද මුදල් අගය භාවිත කරගෙනය. මුදලින් සියල්ල කළ හැකිය යනු ධනවාදී සමාජයක පිළිගැනීමය. භාරතීය පඩිවරයකු වූ විෂ්ණු ශර්මන්ට අනුව යමකුට ධනය ඇත්නම් ඔහුට මිත්‍රයෝ ද නෑයෝ ද වෙනත් ඕනෑම ප්‍රබල පුද්ගලයෝ ද සුලභ වෙති. ධනය නැතහොත් මුදලට දාස නොවන්නෝ අතිශය දුර්ලභ යැයි ඔහු දක්වන්නේ කිසියම් උත්ප්‍රාසයකින් ද යුතුවය. කාල්මාක්ස් අවධාරණය කරන්නේ ද මුදල, බලය මෙන්ම ප්‍රභූත්වය ලබාදෙන්නක් බවය. මුදල් තිබෙන කොරෙකුට පාද දෙකක් නොව හතරක් තිබෙන බව ද ඔහුද වරක් සඳහන් කර තිබේ. බුදුන් වහන්සේ මුදල උපමා කළේ විෂඝෝර සර්පයකුටය. මේ සියල්ලෙහි තේරුම මුදල සමාජ සාරධර්ම, මානව හැඟීම් ආදි සියල්ල විනාශ කරන බිහිසුණු ස්වරූපකින් ද යුතු බවය. සමාජවාදී ලෝකයේ බහුමානයට පාත්‍රවූ කෘතිය කාල්මාක්ස් ලියූ ප්‍රාග්ධනය නම් වේ. මාක්ස් සිය කෘතිය ලියා ඉන් පිටපතක් සිය මවට යැවූ විට මව පවසා ඇත්තේ ්ද හැබෑටම ඔහු ප්‍රාග්ධනය ටිකක් රැස්කර ගත්තා නම් කොපමණ වටීද? යනුවෙනි.

අප මුදල් පිළිබඳව තරමක් දීර්ඝව උපුටා දැක්වූයේ ද ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන, සංස්කෘතික මෙන්ම තවත් බොහෝ වටිනාකම් ද මුදල මත රඳා පවතින හෙයිනි. සොරකම්, දූෂණ, භීෂණ, ඝාතන ආදී ඕනෑම දුරාචාරයක් යට කළ හැකි බලයක් මුදලට තිබෙන බවද රහසක් නොවේ. රස තෘෂ්ණාවෙහි බැඳුණු වාත මෘගයන් විනාශ වන්නාක් මෙන් මුදල් නිසා කීර්තියෙන්, ගෞරවයෙන් අභිමානයෙන් පුද්ගලයා ද විනාශ වන බව බොහෝ විට පසක් වන්නේ මහා විනාශයකින් පසුවය. අද මුළු සමාජයේම ප්‍රබල අවධානය යොමුවී තිබෙන කෝටිපති හෙරක් ලෙස චෝදනා ලැබ සිටින ස්ත්‍රියකගේ කතා වස්තුව මෙරටේ මහා පරිමාණ මුදල් වංචාවක නග්න ස්වරූපය විදහා දක්වයි. සුදු ඇඳුමත් කහ සිවුරත් ඒ දූෂිත කැළල්වලින් අශෝභන වීම කෙතරම් ඛේදවාචකයක්ද? මෙය තවමත් චෝදනාවක් වුවද මෙය හා බැඳුණු අතුරු කතාවලින් හෙළිවන්නේ දේශපාලනය මෙන්ම වෙනත් බොහෝ ක්‍ෂේත්‍ර ද කුණුවී දුගඳ හමන බවය.

සමාජ මාධ්‍යවලත්, ජනතාව අතරත් තිබෙන කතා හා පුවත් නාටකීය මෙන්ම ජුගුප්සාජනක බවින් ද පිරී ඇත. ඒවායේ සත්‍ය කුමක්දැයි අපට කිව නොහැක. එහෙත් මේ දූෂිත ක්‍රියාන්විතය සමග බැඳී ඇත්තේ ආණ්ඩුවේ විවේචකයන් වන දේශපාලන චරිත බව, ඒ සම්බන්ධව කරුණු දක්වමින් උදය ගම්මන්පිල පවසා තිබුණි. ස. ජ. බ. මන්ත්‍රිවරයෙක් ද ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කර ඇත. පොහොට්ටුවේ මුල්පෙළ මන්ත්‍රීවරයකු වන නාමල් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ද රාජපක්‍ෂවරුන්ට කළු සල්ලි ගැන චෝදනා ඉදිරිපත් වී තිබුණත් මෙම කුප්‍රකට මුදල් ජාවාරමට සම්බන්ධ යැයි සමාජගත කර තිබෙන නම් ලැයිස්තුවල තමන්ගේ නම් නොමැති බවය. ඔහු උත්ප්‍රාසයෙන් සඳහන් කළේ අප හැර අනෙක් බොහෝදෙනකුගේ නම් ඒ ලැයිස්තුවල තිබෙන බවය. ඉහත දැක්වූ පරිදිම මේ නම් ගම් සිදුවීම්, මැදිහත්වීම් සියල්ල අධිකරණයකින් නිගමනයට ලක්විය යුතුය. එසේ වුවද මේ මුදල් කඳු සමග බැඳී තිබෙන දූෂිත දේශපාලනය ගන නම් අපට තිබෙන සැක සංකා බොහෝය.

දැනට හෙළිවී තිබෙන ආකාරයට මේ මුදල් සාධාරණ හෝ නීත්‍යනුකූලව උපයාගෙන තිබේ ද යන්න වෙනම විමර්ශනය කළ යුතුය. ලංකාව කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක් ලෙස ද සමහරු හඳුන්වති. එසේනම් මේ දූෂිත මුදල් ගනුදෙනුවෙන් රටට හිමි විය යුතු විශාල මුදල් සම්භාරයක් යම් යම් පුද්ගලයන් සතු වු බවක් ද පැහැදිලිය. ඒවා කෙසේ උපයා ගත් මුදල් ද? ඒ පිළිබඳ අදාළ අංශවලට දැනුම් දී තිබේද නිශ්චිත බදු ගෙවා ඇද්ද? ආදී ප්‍රශ්න ගණනාවක්ම මෙහිදී මතුවේ. එනිසා මේ සියලුම කරුණු පිරිසිදු කර ගැනීමටත් සත්‍ය ජනතාවට දැනගැනීමටත් ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. කුමක් වුවත් මේ පවතින ක්‍රමය තුළ දූෂිතයන්ට හා හොරුන්ට දඬුවම් ලැබීය හැකිද යන්න පිළිබඳව නම් අප බොහෝදෙනකුට ඇත්තේ සැකයකි. අද ආණ්ඩුවේ විවේචකයකු බවට පත්ව සිටින ඩලස් මන්ත්‍රීවරයා පසුගිය දිනක ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ජනතාව නිවන් සුව ප්‍රාර්ථනා කරන බවය. මේ ප්‍රාර්ථනය තුළ තිබෙන දේශපාලන කලකිරීම පමණක් නොව විවේචනය ගැන ද විග්‍රහයක් කිරීමට අපට අදහසක් නැත. මක්නිසාද යත් ඇතැම් විට පාර්ලිමේන්තු වරප්‍රසාද කෙවිට අප වෙත ද යොමුවීමට ඉඩ තිබෙන බැවිනි.

දැන් මේ දිනවල සංවාදයට නිමිති වී තිබෙන පළාත් පාලන මැතිවරණය නැතහොත් පුංචි ඡන්දය පිළිබඳවත් සැකෙවින් හෝ විමසා බලමු. ඇත්ත වශයෙන්ම රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික හා සමාජ අර්බුද අබියස මැතිවරණයක් සඳහා මුදල් යෙදවීම සුදුසු දැයි සමහරුන් නගන තර්කයෙහි පදනමක් තිබේ. එහෙත් ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද ඒ සමාජ ආර්ථික අර්බුදය පිළිබඳ සම්මුතියකට, එකඟතාවකට පැමිණ එයට ප්‍රමුඛතාව ලබාදෙන ක්‍රියාන්විතයක නොසිටින බව ද ඉතා පැහැදිලිය. එසේම ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කෙරෙන බලය සඳහා වූ දේශපාලන මෙහෙයුම්වල නිරත වී සිටින්නේ නම් එහිදී මැතිවරණ කල්දැමීමට ඉඩදීම ද කිසිසේත් සුදුසු නොවේ. පාර්ලිමේන්තු බලය හිමි පොහොට්ටුව මේ වන විට විශාල ජනහමු දෙකක් ද පවත්වා රටට තහවුරු කර ඇත්තේ මැතිවරණයකට තම පක්‍ෂය සුදානම් බවය. එසේම ඒ දේශපාලන රැස්වීම්වලදී කෙරෙන බොහෝ විවේචනවලින් පෙනී යන්නේද ජනතාව පොහොට්ටුව සමග සිටින බවත් එළැඹෙන ඕනෑම මැතිවරණයකින් වුවද තමන් නියත වශයෙන්ම ජය ලබන බවත්ය. පොහොට්ටුවේ නායක මහින්ද කිසි විටෙක මේ මැතිවරණයකට උචිත වේලාවක් නොවන බවක් ද ප්‍රකාශ කර නැත. තම පාලන සමය තුළ යම් වැරදි සිදු වූ බවත් ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අනුව කිසිසේත් රටේ මැතිවරණ කල්දැමීමක් ගැන කතා කිරීමට ඉඩක් නැත. එහෙත් විපක්‍ෂයේ සියල්ලන්ගේම චෝදනාව වී ඇත්තේ ජනාධිපති රනිල් ඒ සඳහා සට කපට උපක්‍රම යොදන බවය ජ. වි. පෙ. අනුර කුමාර පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යෝජනා කරන පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් අඩු කිරීම සාධනීය යෝජනාවක් වුවත් එය දේශපාලන ගුණ්ඩුවක් බවය ඇත්ත වශයෙන්ම මේ තකහනියේ එබඳු ක්‍රියාදාමයකට වුවමනා පියවර ගැනීම කිසිසේත් කළ නොහැකිය. මන්ත්‍රීන් අඩු කළ හැකි දේශපාලන සංශෝධන හා නීති රීති සතියෙන් දෙකෙන් සම්මත කළ නොහැකි බවද ජනාධිපති රනිල් වුවත් ඉඳුරා දනී. එසේ නම් ඔහු යෝජනා කරන මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම කෙතරම් ප්‍රායෝගික ද යන සාධාරණ ප්‍රශ්නය මෙන්ම කුතුහලය ද මතුවීම ස්වභාවිකය.

කොහොමටත් මෙරටේ මැතිවරණ කල්දැමීම්, සම්බන්ධයෙන් තිබෙන අතීත වාර්තා යහපත් නැත. විශේෂයෙන් එ. ජා. ප නායක ජේ. ආර්ගේ කාලසීමාව තුළ එබඳු ආන්දෝලනාත්මක දේ සිදු විය. ජනතාව පිළිනොගත් නමුදු ජයවර්ධනට ඒ සඳහා හේතු සාධක ද තිබුණි. එනිසා විපක්‍ෂය මෙම මැතිවරණ ලබාගැනීම සඳහා තවත් අරගලයකට තල්ලු වී යෑමට ඉඩ නොදීම ආණ්ඩුවේ වගකීමකි. අනිත් වැදගත්ම කරුණ නම් පොහොට්ටුවට මෙන්ම අනෙක් සියලුම දේශපාලන පක්‍ෂවලට ද අද රටේ පවතින සැබෑ ජනමතය කුමක්ද යන්න විමසා බැලීමට ද එබඳු කවර හෝ මැතිවරණයක් ඉවහල් වීමය. පොහොට්ටුවේ ඇතැම් අය තවමත් පවසන්නේ තම පක්‍ෂයට ලැබුණු හැටනව ලක්‍ෂයේ ජනවරම ඒ අයුරින්ම තිබෙන බවය. එනිසා ඉදිරියෙහි පැවැත්වෙන පුංචි ඡන්දය නිසැකයෙන්ම මෙරටේ මහජන මතය විමසා බැලෙන උරගලක් වනු ඇති බව ද සඳහන් කළ යුතුය.

කෙසේ හෝ අද රටත් ජනතාවත් මුහුණපා සිටින උග්‍ර සමාජ ආර්ථික අර්බුදවලට නම් එයින් විසඳුමක් ලැබේද යන්න අවිනිශ්චිත බව ද කිව යුතුය. ඒ සඳහා සමස්ත දේශපාලනයම සාධනීය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු අතරම මුළු රටම වසාගත් දූෂණය, වංචාව, නාස්තිය මෙන්ම අල්ලස ඇතුළු සකල විධ දුෂ්ට ක්‍රියාකාරකම් ඉඳුරා දුරු කළ යුතු ද වේ. මේ වැඩවසම් සමාජ ආකල්ප හා ගතානුගතික දේශපාලන මහලු සමාජය සමග බැඳුණු දේශපාලන නන්නත්තාර ගමන ද අවසන් කළ යුතු කාලය එළැඹ තිබෙන බවද ලියා තැබිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment