දකුණු ආසියාව කලඹන ඉන්දීය පාර්ලිමේන්තුවේ සිතියම

903

ඉන්දියානු නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මොදි ගේ පාලන කාලයට වසර 09 ක් සම්පූර්ණවීම හා සමගාමීවය. එය පසුගිය මැයි 28 වැනිදා සිදු කෙරුණු අතර ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයට අයත් පක්ෂ 18ක් මෙම උළෙල වර්ජනය කර තිබිණි. මෝදි රජය මගින් ආරම්භ කළ මධ්‍යම විස්ටා ව්‍යාපෘතියේ කොටසක් ලෙස නව සිව්මහල් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් 2021 ජනවාරි මාසයේදී ආරම්භ විය. ඩොලර් මිලියන 120 හෙවත් ඉන්දීය රුපියල් කොටි දාහකට ආසන්න මුදලක් මේ සඳහා වැයකර තිබිණි. ඉන්දීය පැරණි පාර්ලිමේන්තුවේ ඉතිහාසය 1927 දක්වා දිවෙන අතර පාර්ලිමේන්තු ආසන ධාරිතාව වැඩි කිරීමට සහ වායු සමීකරණ, ආලෝකකරණය සහ විවේකාගාර වැනි වඩා හොඳ පහසුකම් සඳහා නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් අවශ්‍ය බව ආණ්ඩුව නිවේදනය කර තිබිණි. “මධ්‍යම විස්ටා ව්‍යාපෘතිය” යනු බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ ඉදිකරනු ලැබූ පාර්ලිමේන්තු මන්දිරය රාෂ්ට්‍රපති භවන් ඇතුළු රජයේ ගොඩනැඟිලි ආවරණය වන පරිදි දිල්ලි නගරයේ වැදගත්ම ස්ථාන අයත් හෙක්ටයාර 46 ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් කෝටි විසිදහසකට වඩා වැය කරන අතර ඒ අනුව යටත් විජිත අතීතයේ දිගු සෙවණැල්ලෙන් මිදෙන “ස්වයං රඳා පවතින” ඉන්දියාවක් සඳහා වූ මෝදි ගේ දැක්ම තහවුරු කිරීමට අදහස් කරයි. නව ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ නිර්මාණකරු වන්නේ ගුජරාටයේ ගෘහ නිර්මාණ ශිල්පී බිමල් පටෙල් මහතාය. ඔහු වත්මන් ඉන්දියාවේ සුවිශේෂ නිර්මාණ රැසකම මහමොළකරු වන අතරම 2019 පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූවෙකි.

දේශපාලන විශ්ලේෂකයන් විසින් මධ්‍යම විස්ටා ව්‍යාපෘතිය විස්තර කර ඇත්තේ අගමැති මෝදිගේ දෙවන ධුර කාලයෙහි “ප්‍රධානතම ව්‍යාපෘතිය” ලෙස වන අතර, එය ඔහුගේම හින්දු ජාතිකවාදයේ සන්නාමය ශක්තිමත් කිරීමෙන් මෙන්ම යටත් විජිත අතීතයෙන් ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කිරීමේ උත්සාහය ලෙසද හඳුන්වා ඇත. ඉන්දියාව නිදහස ලැබූ දා සිට වසර 49ක් ඉන්දියාව පාලනය කළේ කොන්ග්‍රස් පක්ෂය විසිනි. “මධ්‍යම විස්ටා ව්‍යාපෘතිය” හරහා අතීත බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එඩ්වඩ් ලුටෙන්ස් වෙනුවට බිමල් පටෙල් ආදේශ වන්නේ ඒ නිසාය. නවදිල්ලිය නිර්මාණය කළේ මේ බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීයා විසිනි.

කවරක් නමුත් මේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සවිකර ඇති සිතියමක් හේතුවෙන් දකුණු ආසියාව පුරාම යම් ආන්දෝලනයක් ඇතිව තිබේ. මේ සිතියම ස්ථාපනය කිරීම බංග්ලාදේශය, නේපාලය සහ පකිස්තානය ඇතුළු දකුණු ආසියානු අසල්වැසියන් කෝපයට පත් කර තිබේ. සිතියමට ඇෆ්ගනිස්ථානයේ කොටස් සහ සමස්ත පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය ඇතුළත් වේ. මෙම සිතියම මගින් පණ පොවා ඇත්තේ අගමැති මෝදි අයත් භාරත් ජනතා පක්ෂයේ අන්ත ජාතිකවාදී දක්ෂිණ සංකල්පයක් වන ”Akhand Bharat” හෙවත් අඛණ්ඩ භාරතය යන සංකල්පය බවට චෝදනා නැඟී තිබේ. ඇත්තෙන්ම මෙම සිතියමට අනෙක් පැත්තෙන් දක්නට ඇත්තෙන් කුප්‍රකට චානක්‍ය බ්‍රාහ්මණයාය. චාණක්‍යගේ ‘අඛණ්ඩ භාරතය’ නමැති සංකල්පය ඉදිරිපත් කළ න්‍යායාචාර්ය වේ. ක්‍රි. පූ. 150-300 අතර විසූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය නමින් හැඳින්වෙන විස්මිත මනසකින් යුත් පුද්ගලයා විසින් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය නම් ප්‍රකට ග්‍රන්ථය රචනා කර තිබේ. ඔහු විශ්ණු ගුප්ත නමින් ද හැඳින්වේ. හෙතෙම ඍග් වේදයේ නිපුන රාජ්‍ය පාලනය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි. නන්ද පරපුර බලයෙන් පහකර ඔහු විසින් පුහුණු කළ චන්ද්‍ර ගුප්ත කුමරු මගධ රාජ්‍යයේ බලයේ පිහිටුවනු ලබයි. ඒ ධර්මාශෝක රජු දක්වා පුළුල් වන මෞර්ය අධිරාජ්‍යය යි. රජු බලයේ පිහිටුවූ ඔහු රජුගේ උපදේශක ලෙස මෙම ග්‍රන්ථය රචනා කරයි. න්‍යාය, රටක් තුළ භාවිතයට නැඟූ එකම ආචාර්යවරයා ඔහු ය. එය සංස්කෘත බසින් ලියූ ශ්ලෝක 380 කින් යුක්තයි. වත්මන් ඉන්දීය ආණ්ඩුවේ නරේන්ද්‍ර මෝදි අගමැතිට පමණක් දෙවැනි වන ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා හඳුන්වනු ලබන්නේ නූතන චානක්‍ය ලෙසය. ඔහුගේ කාමරයේ රූප දෙකක් එල්ලා ඇති අතර එයින් එකක් වන්නේ චානක්‍ය බ්‍රාහ්මණයාගේ රූපයයි. මෙය වෙනම කතාවක් වුවත් මේ නව පාර්ලිමේන්තුවේ එල්ලා ඇති රූපවලින් හා සිතුවම් වේවා වෙනත් සිතියම් වේවා ඒ සියල්ලගෙන්ම කියවෙන කතාව භාරතීය ජනතා පක්ෂයේ හින්දු අධිපතිවාදී සංකල්පය බව නොකියාම බැරිය. එය කිසිවකුට ඉවත දැමිය නොහැක. බ්‍රාහ්මණයන් බිමල් පටෙල් ගේ නව පාර්ලිමේන්තුව වඩා ආදරයෙන් වැළඳගන්නේ ඒ නිසාය.

අකන්ඩ් භාරත් සිතියම පිළිබඳ චෝදනාවට පිළිතුරු දෙන ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරුදම් බග්චි මාධ්‍ය හමුවකදී කියා සිටියේ බිතු සිතුවමේ පුරාණ මෞර්ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සහ අශෝක රජු සම්මත කර ප්‍රචාරණය කළ ජනතාවාදී පාලනය පිළිබඳ අදහස නිරූපණය කරන බවයි. කෙසේ වෙතත්, මැයි 28 වන දින නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයේදී, ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු මෙන්ම ගල් අඟුරු සහ පතල් පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි මෙය විස්තර කර තිබුණේ උග්‍ර හින්දු ජාතිකවාදී අදහසක් වන අඛන්ඩ් භාරත් හි සිතියමක් ලෙසයි. එය ඉන්දීය උපමහාද්වීපයේ ජනවාර්ගික හින්දු ජාතියක් කලාපයක් ලෙස පරිකල්පනය කරයි. “අධිෂ්ඨානය පැහැදිලියි – අඛන්ඩ් භාරත්” ජෝෂිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි. මෙය භාරතීය ජනතා පක්ෂයේම අදහස වන බව පැහැදිලිය. නමුත් මේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරුදම් බග්චිට එය පැවසිය නොහැක.

නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලි උපුටා දක්වමින් කත්මන්ඩු පෝස්ට් පුවත්පතේ සඳහන් කර ඇත්තේ “ඉන්දියාව පෞරාණික ශක්තිමත් රටක් ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශයක් ලෙසත් නව පාර්ලිමේන්තුවේ ඇති සිතියමේ නේපාල භූමි ප්‍රදේශ ඇතුළත් එල්ලා තැබුවහොත් එය සාධාරණ යැයි කිසිම විටක කිව නොහැකි බවයි. ඔලි මහතා නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිතියම ඉවත්කර එම වැරැද්ද නිවැරදි කරන ලෙස දිල්ලි ආණ්ඩුවට දන්වන ලෙසය. ඔලි කොහොමත් ඉන්දීය හිතවාදී අගමැතිවරයකු නොවීය. මෙම බිතු සිතුවමෙන් නේපාලයේ පැරණි ස්ථාන වන ලුම්බිණි – බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය – සහ කපිල්වස්තු “මහා ඉන්දියාව” සිතියමේ කොටසක් ලෙස නිරූපණය කෙරේ.

පසුගිය සතියේ පකිස්තානය ද ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පාලන ව්‍යාප්තිය වඩ වඩාත් ප්‍රචලිත කරනු ලබන අඛන්ඩ භාරතය පිළිබඳ අදහස සම්බන්ධයෙන් “බරපතළ” කනස්සල්ල පළකර තිබිණි. ඉස්ලාමාබාද්හි සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මුම්ටාස් සාරා බලොච් පැවසුවේ මෙම සිතියමේ ප්‍රකාශය “ඉන්දියාවේ අසල්වාසීන්ගේ පමණක් නොව එහි ආගමික සුළුතරයන්ගේ ද මතවාදය සහ සංස්කෘතිය යටත් කර ගැනීමට උත්සාහ කරන ව්‍යාප්තවාදී මානසිකත්වයක ප්‍රකාශනයක්” බවයි. ඇත්තෙන්ම හින්දු ජාතිකවාදයට අවශ්‍ය සියලු දෙනා යටකර නැඟී සිටීම බව රහසක් නොවේ. ඉන්දියාවේ බුදු දහම අතුගා දැමීමට මූලික වූයේ බ්‍රාහ්මණයන් මිස අන් කවරකු හෝ නොවේ. කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාවෙන්,

ඇෆ්ගනිස්ථානයෙන් හෝ මියන්මාරයෙන් මේ සිතියම හෝ අඛණ්ඩ භාරතය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නොමැත. කොළඹ වෙසෙන ඉන්දීය තානාපති අංශ නිරන්තරව ලංකා දේශපාලනයට මැදිහත්වන නිසා මෙරට විදේශ අමාත්‍යාංශය ඉන්දීය නව පාර්ලිමේන්තුවේ සිතියම් දෙස හැරී බලනු ඇතැයි කිසිවිටක විශ්වාස කළ නොහැකිය. කොළඹ පාලනයට බ්‍රාහ්මණ අතපෙවීම් බහුලව සිදුවෙමින් ඇත. අරගලයේද ඉන්දීය හස්තය ප්‍රබලව ක්‍රියාත්මක වෙද්දී මහකොමසාරිස්වරයා නිතරම කොටුව ජනපති නිවසේ දක්නට ලැබිණි.

ඉන්දියාවේ ඩෙකාන්හෙරල්ඩ් පුවත්පතට India’s broken dream of ‘Akhand Bharat’ මැයෙන් ලිපියක් ලියමින් භාරත් භුෂන් සටහන් කරන්නේ අඛන්ඩ් භාරත් යනු ඉන්දියාවේ බිඳී ගිය සිහිනය බවයි. නරේන්ද්‍ර මෝදි පාලනයේ අභිලාෂයන් කාශ්මීරයට ඊසාන දිග ඉන්දියාවට නොව දකුණු ඉන්දියාවට ද ගලපාගත නොහැකි වී ඇති බව ඔහු කියයි. මනිපූර්හි, ජනවාර්ගික ප්‍රජාවන් අතර ගැටුම් දරුණු වෙමින් පවතින අතර, ඊටත් වඩා මාරාන්තික හින්දු – ක්‍රිස්තියානි එදිරිවාදිකමක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. මනිපූර්හි දිගුකාලීන ජනවාර්ගික බෙදීම කිසි විටෙක මේ තරම් ප්‍රචණ්ඩ සහ ම්ලේච්ඡ වී නැත. කුල හීනයන් එනම් දලිත්වරුන් ආකර්ෂණය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවද, භාරතීය ජනතා පක්ෂය යටතේ දලිත්වරුන්ට එරෙහි හිංසනයන් ඉහළ ගොස් ඇත. ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ දාලිත්වරුන්ට එරෙහි අපරාධ 190,000 කට වැඩි ප්‍රමාණයක් 2018 සිට සටහන්ව ඇති බවයි. එය වැඩියෙන්ම සිදුවන්නේ භාරතීය ජනතා පක්ෂය බලයේ සිටින ප්‍රාන්තවල බව භාරත් භුෂන් සටහන් වැඩිදුරටත් සටහන් කරයි. භාරතීය ජනතා පක්ෂය දකුණු ඉන්දියාවට ඇතුළු වීමට අපොහොසත් වන්නේ එය ‘එක් ජාතියක්’ යන නාමයෙන් භාෂා හා සංස්කෘතික බෙදීම් අවුස්සන බැවිනි. “මුළු රටම එක්සත් කළ හැකි එකම භාෂාව” ලෙස හින්දි භාෂාව පුළුල් කිරීම සඳහා මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ ඉල්ලීම ගැන දකුණු ඉන්දීය වැසියන් කොහොත්ම කැමතිවන්නේ නැත. එසේ නම් අඛණ්ඩ භාරතයක් කෙසේ වෙතත් ඉන්දියාව හින්දු ලේබලය යටතේ එක්කිරීමද අපහසුය. නමුත් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ නම් ඕනෑම චිත්‍රයක් හෝ සිතුවමක් එල්ලා තැබිය හැක. ඒ මෝදි අගමැතිගේ සතුට වෙනුවෙනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment