සැහැල්ලු දුම්රිය අවලංගුවෙන් කෝටි 1114 ක් ගෙවන්න වෙයි

469

කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක මහතාගේ රජය විසින් ඒකපාර්ශවීයව නතර කර දැමීම නිසා රුපියල් කෝටි 1114 ක් (මිලියන 11,145)ක් ජපන් සහයෝගීතා බැංකුවට (ජයිකා) ගෙවීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශවීය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (කොළඹ සිට මාලබේ) අවසන් කිරීම නිසා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ජපන් උපදේශක සමාගමට සිදුවූ ලාභ අහිමිවීමේ වන්දි ඇතුළු ව්‍යාපෘතිය අවසන් කිරීමේ වියදම් ලෙස රුපියල් මිලියන 5169ක මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියන 31) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවද ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කොට ඇති නවතම විශේෂ විගණන වාර්තාවක දැක්වේ.

මින් රුපියල් බිලියන 4.4 ක්ම ඉල්ලා ඇත්තේ ව්‍යාපෘතිය අවසන් කිරීම නිසා උපදේශන සමාගමට සිදුවන අලාභය සඳහාය. එමෙන්ම උපදේශන හිඟ හිටි ඉන්වොයිස් වටිනාකම ලෙස රුපියල් මිලියන 604 ක් සහ ව්‍යාපෘතිය අවසන් කිරීම ආශ්‍රිත වියදම් ලෙස රුපියල් මිලියන 167 ක මුදලක් අදාළ උපදේශක සමාගම විසින් ඉල්ලා ඇත. ඔරියන්ටල් කන්සල්ටන්ට්ස් ග්ලෝබල් කම්පැනි ලිමිටඩ් නමැති සමාගම විසින් මෙකී මුදල ඉල්ලා ඇත. මෙකී ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 5978 ක වියදමක් දරා ඇත.

අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශවීයව නතර කිරීමේදී එම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව කිසිදු සොයා බැලීමකින් තොරව එය සිදු කිරීම නිසා ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට ගියත් අදාළ නඩු ගාස්තුත් මෙම මුදලට අලුතින් එකතු වන බවද පෙනී ගොස් ඇත.

ජපන් යෙන් මිලියන දෙලක්‍ෂ හතළිස් හයදහස් හයසීය හතළිස් එකක් වැයකර මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජපන් සහයෝගීතා බැංකුව සමඟ ගිවිසුමකට එළඹ ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේදීය.

ඒ අනුව අදාළ මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සඳහා ජපන් සහයෝගීතා බැංකුව (ජයිකා) මගින් රුපියල් මිලියන 5977 ක් මෙරටට ලබාදී ඇත. ඒ අනුව අදාළ ව්‍යාපෘතියට යන ජපන් යෙන් මිලියන දෙලක්‍ෂ හතළිස් හයට දහස් හයසීය හතළිස් එකක මුදලින් ජපන් යෙන් දෙලක්‍ෂ හාරදහස් පහළොවක මුදල ජයිකා මගින් ලබාදීමට ගිවිසුම් ගතව තිබිණි. ඉතිරි මුදල වන යෙන් 46,226 වෙනත් ආයතන මගින් ලබාගැනීමට සැලසුම් කර තිබී ඇත.

ඒ අනුව ජපන් සහයෝගීතා බැංකුව මගින් සියයට 0.1 ක වාර්ෂික පොලියකට අදාළ මුදල් ලබාදීමට ගිවිසුම් ගතව තිබී ඇති අතර එම මුදල ආපසු ගෙවීමේදී වසර දොළහක් සත පහක් ආපසු ලබානොගෙන සහන කාලයක් ලබාදී ඇත. වසර දොළහකට පසු වසර හතළිහක් පුරා අදාළ ණය මුදල ජයිකා වෙත ගෙවීමට හැකියාව තිබී ඇත.

කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, යූනියන් පෙදෙස, කොටුව, මරදාන, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හැව්ලොක් ටවුම, බම්බලපිටිය, බොරැල්ල, මාලඹේ, කඩුවෙල, පෑලියගොඩ, කඩවත දක්වා මාර්ග හතක් හරහා මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් ජයිකා ජපන් සහයෝගීතා බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුම ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීයව බිඳ දැමීම නිසා ඉහත සඳහන් කළ මුදල ගෙවීමට ශ්‍රීලංකා රජයට සිදුවනු ඇතැයි රජයේ විශේෂ විගණනයේදී හෙළිවී ඇත.

ශිරාන් රණසිංහ, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment