* සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් සෙසු ආගම් හා භාෂා ඉගෙන ගන්නත් ඕනෑ
මොහොමඞ් ෆාරිස් අයිෂා අමිනා වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලෙන් 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ නවයක් සහිතව විභාගය සමත් වූවාය.
මුස්ලිම් ජාතික සිසුවියක් වෙන ඇයගේ විශේෂත්වය වන්නේ බුද්ධාගම විෂයටත් සිංහල විෂයටත් ඒ සාමාර්ථ ගැනීමය. ෆාරිස් අයිෂා අමිනා ඒ සම්බන්ධයෙන් දිවයින ට මෙසේ අදහස් දැක්වීය.
මම පුංචි කාලේ ඉඳලම හුඟක් නිදහසේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිදහස මට ලබා දුන්නෙ මගේ අම්මයි තාත්තයි.
මට නිදහසේ ඉගෙන ගන්න දුන්නු අම්මටයි තාත්තටයි ගොඩක් ස්තුතියි. මගේ විභාගය ප‍්‍රතිඵල වල මුල් ගෞරවය ඒ දෙන්නට දෙන්න ඕන. එක වසරේ සිට උගන්වපු සියලූ ගුරුවරුන් මගේ දක්ෂතා හඳුනගෙන මාව මේ තැනට අරගෙන ආවා. ඒ අයටත් බෙහෙවින්ම ගෞරව කරනවා.
බුද්ධ ධර්මය කියන්නෙ මට සංස්කෘතිකව ආධුනික විෂයයක්. බුද්ධ ධර්මය විෂය ඉගැන්වුවේ ජිනරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ විෂය ඉගැන්නුව විදිහ හරිම ආකර්ෂණීයයි.
මම 1 වසරේ ඉඳලම සිංහල බුද්ධාගම ඉගෙන ගත්තා. මට ඒ විෂයන් ගැන ලොකු අමුත්තක් දැනුණේ නෑ. බුද්ධාගම ඉගෙන ගන්න කොට ගාථා කවි වගේ දේවල් මට හරි ඉක්මනින්ම පාඩම් හිටිනවා. ඒවයෙ තියෙන තේරුම්වලට මම හරි කැමතියි. ඇත්තටම ආයාසයකින් තොරව මට ඒවා මතක හිටිනවා. ජාතක කතා වුණත් එහෙමයි.
අත් අකුරු කියන්නේ කෙනෙකුගේ අනන්‍යතාව. අමීනා සිංහල අකුරු මුතු ඇට සේ ලියන්න දක්ෂය. ඇය පාසලේ සහ සෙසු පාසල් අතර පැවැති අත්අකුරු තරඟවලට සහභාගී වී ඇත. සිංහල භාෂාව උනන්දුවෙන් ප‍්‍රගුණ කර ඇති අමීනා රචනා තරඟ සිංහල භාෂා දින තරග ආදියට සහභාගි වෙමින් සිය දක්ෂතාවන් තවදුරටත් ඔප්නංවා ගෙන සිටී.
සිංහල කියන්නේ තවත් එක් භාෂාවක්. එහි තිබෙන ව්‍යාකරණ රසාස්වාදය වචන හරිම සරලයි. ඒ වගේම හරිම අර්ථවත්. මේවා අපේ ජීවිතේටත් වැදගත්. මම සිංහල ඉගෙන ගත්තෙ හරිම ආසාවෙන්. බුද්ධාගම ඉගෙන ගන්න මම අමතර පන්ති ගියේ නැහැ. ඒ වගේම මට මගේ යහළුවොත් හුඟක් උදව් කළා.
මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වීමයි. ඒ සඳහා මම හැකි උපරිම උත්සාහය ගන්නවා.
ඒ වගේම මට කියන්න තවත් දෙයක් තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු වුනත් අපේ ආගමට භාෂාවට ගරු කරමින් ඒ අදහමින් ඉන්න ඕනෑ. ඒ අතරම සෙසු ආගම් හා භාෂා ඉගෙන ගන්නත් ඕනෑ. එවිට අපට අනිත් ජාතීන් ආගම් පිළිබඳ ලොකු අවබෝධයක් එනවා. මම හිතන්නේ අපේ අනාගතයට වැදගත් වෙන්නේ එන්න ඒ කාරණාව. මොකද එතකොට ශ‍්‍රී ලාංකිකයෝ විදිහට අපට හැම ආගමක් ගැනම හැම භාෂා වක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන්…. එවිට රටක් ඇතුලේ ජාතීන් අතර කිසිම අර්බුදයක් ඇති වෙන්නේ නැහැ… ඇය කියා සිටියාය. මොහොමඞ් ෆාරිස් අයිෂා අමිනා දුවගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලූත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන අයෙකි. අම්මා ගෘහණියකි. ඇයගේ ඉදිරි ගමනට අපි සුබ පතමු.
සමන්තී වීරසේකර