සූර්යයා පෘතුවියට සාපේක්ෂව යන ගමනේ දී ලංකාවට මුදුන් වන්නේ බක් මාසයේ දීය. සූර්ය රශ්මියේ තෙදබල වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගහකොළ භව භෝග වර්ධනයටයි. පැවති වර්ෂයේ යල සහ මහ කන්නයන්හි අස්වනු කපා පාගා ගැනීමෙන් පසු ඉටු දෙවියන් සතුටු කිරීමට ගම්භාර වැව් කොටු භාර දෙවි දේවතාවුන් සතුටු කිරීමට ගම්මඩු, දෙවොල් මඩු නටා දේව දානය අහවර වීමෙන් පසු බක් මාසයේ ප්‍රථම වර්ෂාව පතිත වන බව පැරැන්නන් දැන සිටියහ. ඒ නිසා අවුරුදු උත්සවයට පළමු යල කන්නයේ ගොවිතැන සම්පූර්ණ කරති. එහෙත් එළඹෙන වසර සඳහා නිෂ්පාදන සැලසුමක් පිළිබඳ සුභ මුහුර්තයක් ගනු ලබන්නේ සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීමෙන් අනතුරුව අවුරුදු දිනයේ දීය.
සෙයිලාන්, සිලෝන්ල සෙරන්ඩිබ්, සිංහලද්වීප සහ ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වනු ලබන මේ කුඩා දිවයින ආසියාකරයේ වැදගත් ස්ථානයක පිහිටා තිබෙන මුතු ඇටයකැයි කියති. මෙහි ජීවන ක්‍රමය කෘෂිකර්මයයි. බත් ප්‍රධාන ධාන්‍යවලින් සපිරුණු අල, බතල, බුලතින්, කිරි ගිතෙලින් ස්වයංපෝෂිත ආර්ථිකයක් එයට තිබුණි. පැරණි රජවරු කෘෂිකර්මයට විශේෂ තැනක් දුන්හ. ලොකු කුඩා වැව් සෑදීමට මෙන්ම නඩත්තුවට කැප වූහ. විදෙස් සතුරු ආක්‍රමණිකයන් විසින් වැව් කොටු කඩා බිඳ දමා ආර්ථිකය වනසාලීමට වරින් වර උත්සාහ කළහ. සතුරු බිය මැඩ පවත්වා කළ පළමු කාර්යය නම් වැව් අමුණු යළි ගොඩ නැන්වීමයි. ඉරිපින්නියාව ශිලාලේඛනයේ සඳහන් පරිදි ඒවා පෙර සිරිත අනුව සිදු කළහ. ධන ධාන්‍ය බැංකුවල තැන්පත් කොට ඒ ලබන පොළියෙන් සද්ධර්මයේ චිරස්ථිතියට කටයුතු කළ බව තෝනිගල ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ. මේ නිසා ගොවිතැන රටේ සියලුම දෙනාගේ ජීවන ක්‍රමය විය. රජවරු වප් මඟුල් උත්සව තබා ගොවීන්ට කලට වේලාවට කෙතට බැසීමට මුල් ආදර්ශය දුන්හ. නිසි කලට වැසි ලැබීමට එතුමන්ලා දස රාජ ධර්මයෙන් රාජ්‍ය විචාලහ.
යුරෝපීය ආක්‍රමණයන්ට දීර්ඝකාලීනව නතු වීම නිසා අපට රටට නායකයකු නැති විය. මහා බි්‍රතාන්‍යයේ රජෙකුට යටත් වූ කාල වකවානුවේ දී අපේ පෙර සිරිත කඩ විය. ශාසනික සම්ප්‍රදායයන් උඩු යටිකරු විය. ධර්මය වල් වැදී දුෂ්චරිතය නැග ආයේය. මේ කාලයේ දී මෙරට පැවති අවුරුදු චාරිත්‍ර හින්දු අවුරුද්ද යනුවෙන් වර්ග කර ඇත. ඉංග්‍රීසි පාලකයන් එයට දිනයක් වෙන්කොට දුන්හ. නිවාඩු ද ලබා දුන්හ. නමුත් සිංහල ගැමියන් සුපුරුදු පරිදි අවුරුදු දිනය එළඹෙත්ම ගමේ නැකැත්තා ළඟට ගොස් නැකැත් සීට්ටුවක් සාදා ගෙන අවුරුදු චාරිත්‍ර ඉටු කළහ. මේ චාරිත්‍ර තුළ කුටුම්භයට නව පෙනුමක් ලබා දීම, අලුත් පිරිසිදු ඇඳුම් එක් කර ගැනීම, දිවි පැවැත්මට බලපාන ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීම, සෞඛ්‍යයට වැදගත් වන හිස තෙල් ගෑම ආදී වැදගත් පියවරයන් අනුගමනය කළහ. එසේම නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම පිණිස අවුරුදු දිනයට සුබ මුහුර්තිය අනුව වැඩ අල්ලා නව අවුරුද්ද වෙනුවෙන් පූර්ව සැලසුමක් සකස් කිරීම දැක්විය හැකිය. රජුගේ නැකැත්තා රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය විවිධ නැකැත් සාදා දෙන අතර ගමේ නැකැත්තා විසින් ගොවිතැන් කටයුතු ආරම්භය, වැපිරීම අස්වනු කපා පාගා ගැනීම, ගව මහේෂාදීන් ගේ සුභ සිද්ධියට අවශ්‍ය නැකැත් වැව් කොටු අමුණු සකස් කිරීමට අවශ්‍ය වන නැකැත්, සෙක්කු ආදී තෙල් හිඳින යන්ත්‍රයන්ගෙන් වැඩ ගැනීමට නැකැත් ආදී රටේ ආර්ථික පැවැත්මට අදාළ සියලුම නැකැත් සාදා දුන්හ. ඒ අනුව ඊළඟ වසරේ නිෂ්පාදනය කළ යුතු භව භෝග ගැන තීරණයක් කර ගත්හ. ගොයම් අස්වද්දන්ටද ධාන්‍ය වර්ග සුලභ කිරීමටද කිරි ගිතෙල් උක් හකුරු නිෂ්පාදනය අවුරුද්දට වැදගත් බැවින් ඒ පිළිබඳ වෙසෙසි අවධානයක් යොමු කළහ.
යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පෙර සිරිත ක්‍රමයෙන් අභාවයට ගිය අතර ගොවිතැනට වැදගත් වන චන්ද්‍ර මාස ක්‍රමයත් සූර්ය මාස ක්‍රමයත් නාමිකව පමණක් භාවිතයට පත් වූහ. භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම් වශයෙන් ඒ මාස ක්‍රමය ගණන් ගත් නමුත් දවසේ ආරම්භය සඳහා ක්‍රමානුකූලව සැවොම රාත්‍රී දොළහ කණිසම භාවිතා කරන්නට පටන් ගත්හ. සංකර වූ සිංහල සමාජය ජනවාරි පළමු වැනිදා නොහොත් ජනේරුව ව්‍යවහාර වශයෙන් තම ජීවිතයට එක් කර ගත් අතර සිංහල අවුරුද්ද නැකැත් කෙළියක්, නෑදෑ හිතවතුන් හමු වීමක්, කෙළි සෙල්ලම් කිරීමට අවස්ථාවක් මෙන්ම අවුරුදු ආහාර එකට එක්වී අනුභව කිරීමටත් පමණක් යොදා ගත් බව කිව යුතුය.
2024 අවුරුද්දේ රාජය නැකැත් සීට්ටුව පරිදි උක්හකුරු සහිත කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි ද අනුභව කළ යුතුය. මේ ආහාර අතරින් ප්‍රධාන වන බත් සුලභ වීම තවමත් සාම්ප්‍රදායිකව සිදු වුණද උක්සකුරු සහ තල නිෂ්පාදනයට කිසිවෙක් තැනක් දී නැත. විකල්ප නැකැත් සීට්ටුව අනුව ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි යොදා ගත් යුතුය. එතනදී ගිතෙල් නිෂ්පාදනය පිළිබඳ කිසිවෙක් උනන්දු වූ බවක් පෙනෙන්නට නැත. අතීතයේ දී නම් එළ දෙනුන්ගෙන් දොවා ගත් කිරිවල යොදය ඉවත් කර මත් ගා ගිතෙල ගෙදරදීම සාදා ගත්හ. මී ගවයන්ගේ කිරි වල යොදය ඉවත් කර මත ගා දුන්තෙල් සාදා ගත්හ. දැන් එවැනි උනන්දුවක් නැත. මඟපෙන්වීමකුත් නැත. තල නිෂ්පාදනය ඉතා මද වශයෙන්ය. එවිට විදෙස්වලින් අනයනය කළ යුතුය. උක්හකුරු ද වැඩි වශයෙන් දැන් ගෙන්වන්නේ ඉනිදියාවෙන්ය. නිෂ්පාදනය ප්‍රමුඛ කාර්ය වශයෙන් අවුරුද්දට ගැනෙන බව සියලුම දෙනට අමතක වී ගොසින්ය. ඒ වෙනුවට නැකැත පමණක් මුල් තැනට පැමිණ ඇත. නිෂ්පාදනය ආරම්භ කළ යුත්තේ ඒ සඳහා වැඩ ඇල්ලිය යුත්තේ සූර්යයාගේ බලය උපරිම වශයෙන් ලැබෙන උදය කාලයේ දීය. නැකැතට පමණක් වහල් වීම නිසා මේ ප්‍රමුඛ අරමුණ දෙවනි තැනට පත් වීම රටේ ආර්ථිකය නඟාසිටුවීම පැත්තෙන් ගතහොත් ඛේදනීය තත්ත්වයකි. මෙරට සංස්කෘතික අමාත්‍යාංශයක් තිබුණද අමාත්‍යවරයකු සිටියද මෙවැනි මතභේදාත්මක අවස්ථාවකදී අවශ්‍ය මඟපෙන්වීම නොකිරීම නිසා ඇතිවී තිබෙන දෙගිඩියාව නිසා සිංහල අවුරුදු චාරිත්‍ර හෑල්ලු වී රටම එක මිටට ගත හැකි අවස්ථාව වළක්වා තිබේ. මේ නිෂ්පාදන අවුරුද්දට සිංහල ජනයා පමණක් නොව දෙමළ ජනයාටද මුස්ලිම් ජනයාටද සියලුම ආගමිකයන්ටද සහභාගි විය හැක්කේය. ඒ අවස්ථාව මගහැරීම රට පැත්තෙන් විශාල පාඩුවකි.
● මතුගම සෙනෙවිරුවන්