ගෙදරට ගොඩවන පාරවල් වැරදුනොත් සුව නැත – වාස්තු විද්‍යාවෙන් හරිම පාර සොයාගමු

83

මෙයට දශක ගණනක අතීතයේදී නම් ඉඩම්වලට මංමාවත්, වැටකඩොලු ගැන මිනිස්සු එතරම් සැලකිල්ලක් නොදැක්වූහ. ඒ භූමියේ අසීමිත ඉඩකඩ නිසායි. නමුත් අද වනවිට විශාලව පැවති ඉඩම් ඉතා කුඩා කොටස්වලට කඩා වෙන් කරගෙනය. විශාල භූමියක පිහිටි එක මාර්ගයක් වෙනුවට අද වනවිට එම විශාල ඉඩම කොටස් කර පොඩි කැබලි බවට පත්ව ඇත. එම ඉඩම් කැබලිවලට සාපේක්‍ෂව මංමාවත් සතර දෙසින් වැටී ඇත. පොඩි පර්. 05ක ඉඩම් කොටසක් ගන්නා අයකු පවා බලන එකම කරුණ නම් ඉඩම කුමන ආකාරයක පැවතිය ද එයට ගමන් කිරීමට තිබෙන මාර්ගය හොඳයි ද තාර දමලා ද කාපට් කරලා ද කොන්ක්‍රීට් කරලා ද වාහන දෙකක් මාරුවෙන්න ඉඩ ඇති ද පටු ද මේ සියල්ල ගැන අවදානය යොමු කරයි. ඉඩමට යන පාර හෝ ඉඩමට යන තවත් විකල්ප මාර්ග සෙව්වාට එම ඉඩමට මෙම පාර හෙවත් ඉඩමට ගමන් කරන මාර්ගය වාස්තු විද්‍යාවට ගැළපෙනවා ද එහෙම නැති නම් මෙම ඉඩමේ නිවසක් හදලා පදංචි වීමෙන් පසුව එම මාර්ගයේ පිහිටන ආකාරය, දිශාව, නිවසේ මුහුණත කොතරම් දුරට නිවැරදි වේ ද යන්න බොහෝ දෙනකු නොසිතයි. කොහොම හරි ඉඩමට ඇති පාර මගින් නිවසට කරදරයක් නැතිව පැමිණීමට හැකි නම් එම මාර්ගය ඉතා හොඳ බව විශ්වාස කරයි. මෙම ලිපිය තුළින් පෙන්වා දෙන්නේ නිවසකට මාර්ගය වැටී තිබීම කුමන ආකාරයෙන් පැවතීම ශුභ ද අශුභ ද යන්නයි. මෙහිදී ප්‍රථමයෙන්ම ප්‍රධාන මාර්ගය තුළින් ඉඩමට පැමිණෙන මාර්ග සම්බන්ධයෙන් ප්‍රථමයෙන් බලමු.

ඉඩම අභ්‍යන්තරයට පිවිසෙන පාර වයඹ දෙසින් දමන විට එය උතුරු වයඹ දිසාවට ගැනීම ශුභ නැත. ඒ සඳහා සුදුසු දිශාව වන්නේ බටහිර වයඹ දිශාවයි. පාර දැමීමේදී වයඹ දිශාවට පැමිණ ඉඩමේ වයඹ දිශාවෙන් පහළට පැමිණ නැඟෙනහිරට මුහුණලා ඇතුළුවෙන ආකාරයට ඉඩමට මාර්ගය තනන්න.

ඉඩමක් තුළට කෙළින්ම පාරක් හෝ මාවත දමන විට උස් ස්ථානයකින් ආරම්භ කරන්න. පහත් ස්ථානයකින් පාර ආරම්භ කිරීම ද ශුභ නොවේ.

ඉඩමට පැමිණෙන මාර්ගය නැඟෙනහිර දිශාවෙන් වැටී ඇති විට එය නැඟෙනහිර ගිනිකොනට නොගෙන නැඟෙනහිර ඊශාසනයෙන් ගැනීම හොඳයි. ශුභයි.

දකුණු දිශාවෙන් ඉඩමට පාර වැටී පවතින විට එය දකුණු ගිනිකොනට ගත යුතු අතර මොනම ආකාරයෙන්වත් එය දකුණු නිරිතට ශුභ නොමැත. නිරිතට මාර්ගය දැමීම නිසා විශාල ධන හානි, පරම්පරාව යාවත්කාලීන නොවීම, අඹු සැමි ගැටලු, ලෙඩ රෝග බහුලවීම හා ආර්ථික පීඩා ඇතිකරයි.

බටහිර දිශාවට ඉඩමේ පාර දමන විට බටහිර වයඹ දිශාව ශුභ වන අතර කිසි විටෙක එය බටහිර නිරිතට දැමීම ඉතා අශුභ වේ.

බොහෝ නිවාස ඉදිකර තිබෙන ආකාරය බලන විටදී සමහර නිවෙස් පාර මට්ටමින් පහළින් ඉදිකර ඇත. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ඉහළින්ම මාර්ග පිහිටා ඇති අතර සමහර නිවස්වල වහලය පමණක් යාන්තමට පාරේ සිට බැලූ විට පෙනේ. මෙය වාස්තු විද්‍යාව මත පමණක් නොව ප්‍රායෝගිකව බැලීමේදී ඉතා අනතුරුදායක වේ. පාරේ ගමන් කරන වාහනයක් පෙරළී එය වහලය මතට පතිතවීමෙන් මුළු නිවසම විනාශ වී යා හැකිය. නාය යෑම්, පස් සෝදා යෑම් නිසා එම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. නමුත් නිවසක් තැනීමට සුදුසු ස්ථානයක් නොමැති වූ විට සුළං කපොලුවල ද පක්‍ෂීන් කූඩු සාදන විලසින් මනුෂ්‍යයන් ද අවදානම නොතකා ගෙවල් සාදයි. අවසානයේ දුකට කඳුළට පත්වේ. භූමියේ ඉඩකඩ පවතින ස්ථානවල ද බොහෝ දෙනකු නොසැලකිලිමත්භාවය, නොදැනීම නිසා මාර්ගයට පහළින් වන්නට එනම් භූමියේ නිවස සාදා ඇති ස්ථානයට වඩා ඉහළින් මාර්ගය දිවෙන පරිදි නිවස සෑදීම කරගන්නාකම අනුවණකමකි. අත්තිවාරම ඔසවා හෝ භූමිය ඔසවා නිවස ඉදිකිරීමට හැකි නම් එම නිවස අලංකාරයත් වාස්තු ගැළපීමත් නිවැරදි වනු ඇත. ඔබේ නිවසට නැඟෙනහිරින් ප්‍රධාන මාර්ගයක් වැටී තිබෙන විට එය ඉඩමට වඩා පහතින් පිහිටා තිබීම හෝ මාර්ගයත්, නිවසේ අත්තිවාරමත් සම මට්ටමක පවතී නම් එය ධනය, නිරෝගීකම, දියුණුව ලබා දෙන හොඳ පිහිටීමකි. නිවස පාරට වඩා උස් විය යුතු අතර පහත්වීම කෙසේවත් ශුභ නොමැත.

උතුරු දෙසින් දිවයන ප්‍රධාන මාර්ගයට සාපේක්‍ෂව ඔබගේ නිවස පහත්වීම මාර්ගයට වඩා වැඩි නම් එවිට වැසි ජලය ද නිවැරැදිව උතුරු ඊශාන දිශාවන්ට බැස යන පරිදි සිදු කළ නොහැක. පාර උස්ව පැවතීම නිසා උතුරු ප්‍රදේශය උස්ව පැවතීම ද නිවස පහත්වීම ද නිවසට ආදායම් ලැබෙන ක්‍රමවේදයන් ද දුර්වල කරනු ඇත.

රැකියාවේ ගැටලු ඇතිකරයි.

මේ තත්ත්වය බටහිර දිවෙන මාර්ගයේදී වෙනස් වනු ඇත. ඔබගේ නිවස බටහිරට මුහුණලා පවතී නම් හෝ බටහිර දිශාව තුළ පිහිටා ඇත්නම් ප්‍රධාන මාර්ගය ඉඩමට වඩා උස්ව පැවතීම ශුභ ගෙනදේ. එවිට බටහිර දිශාවට ජලය බැස යෑමට නොහැක. බටහිර උස්ව පැවතිය යුතු අතර එය ධනය විනාශවීම් වළක්වාලනු ඇත.

මේ ආකාරයටම දකුණු ප්‍රධාන මාර්ගය තුළ ඉදිකර ඇති නිවෙස්වල ද ගිනිකොන, නිරිත දකුණු දිශාවන් නිවසේ බිමට වඩා උස්ව පවතී නම් එය ද ශුභදායක වේ. එවිට ද වැසි ජලය උතුරට, නැඟෙනහිරට, ඊශාසනයට බැස යන පරිදි එම දිශාවන් පහත්ව සැකසීමට හැකියාව ලැබීමත්, දකුණු දිශාව උස්ව පැවතීම විශේෂයෙන්ම නිරිත, ගිනිකොන දිශාවන් උස්ව පැවතීම ධනය වර්ධනය වීමට, සතුට, සමඟිය වර්ධනය වීමට හා පුත්‍ර ලාභ ඇතිවීමට හේතු දේ.

දැනට විශාල ඉඩම් කොටස් කර එම ඉඩම තුළදීම පුළුල් මංමාවත්, තෙකලාවිදුලිය, නළ ජලය ලබාදීමට එම ඉඩම් වෙන්දේසි ආයතන කටයුතු කරයි. එහිදී කුඩා බිම් කොටස්වලට සතර දෙසින් ගමන් කිරීමේ පහසුකම පවතී. ඒ ආකාරයට සමහර බිම් කැබලි සඳහා සිවු දිශාවෙන්ම උතුර, නැඟෙනහිර, බටහිර, දකුණ දෙසින් මාර්ග වැටී පවතී නම් එය සෞභාග්‍යය උදාකරන පිහිටීමකි. නමුත් ප්‍රායෝගිකව නම් එය නිවසේ ආරක්‍ෂාව කෙරෙහි නිවැසියන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි බාධා කරදර දෙන්නක් වේ.

ඒ වගේම දකුණු දිශාවට හැර අනෙක් තුන් දිශාවට උතුර, නැඟෙනහිර, බටහිර දිශාවන්ට පාරවල් වැටී තිබීම ද ඉතා ශුභ වේ.

ඒ වගේම යම් නිවසක පිහිටි භූමියේ පාරවල් නැඟෙනහිර දිශාවට පිහිටා තිබීම ශුභ වෙන අතර එවැනි නිවසක ජීවත් වන අය කාගෙත් සමාජ ගෞරවයට පත් ඉහළ සමාජ තලයක සිටිය හැකිය.

දකුණු දිශාවට පමණක් මාර්ගය පිහිටි නිවාස හා ව්‍යාපාර ස්ථානවල ව්‍යාපාර ඉතා ඉක්මනින් දියුණුවට පත්වේ. වෙළෙඳසල්, කර්මාන්ත ශාලා ආදියෙහි මෙවැනි මාර්ග පිහිටා තිබුණ විට ඒවා බංකොලොත් නොවේ. බොහෝ දෙනකු බටහිර දිශාව කීවාම ගොඩක් බය, අකැමැති දිශාවක් නමුත් බටහිර දිශාව ගොඩක් බලවත් දිශාවක්. ප්‍රධාන දොර බටහිර දිශාවට ආවත් සමහරු බයයි. මේ දිශාව ශනි හෙවත් සෙනසුරුගේ දිශාවයි. මෙම දිශාවේ නිවසේ මාර්ගය පැවතීම අශුභ නොවේ. පදිංචියට වගේම වෙළෙඳ ව්‍යාපාරවලටත් ගොඩක් ශුභයි.

උතුරටත්, නැඟෙනහිරටත් මාර්ග පවතින භූමියක ඔබගේ නිවස තිබෙනවානම් ඉතාම හොඳ සෑම අතින්ම දියුණුව ලබාදෙනවා. ව්‍යාපාරික ආයතන, වෙළෙඳසල්වලට ඉතාම ශුභ ප්‍රතිඵල අත්වෙනවා.

නැඟෙනහිර දිශාවට හා දකුණු දිශාවට මාර්ග පිහිටා ඇති නිවෙස්වල වාසය කරන කාන්තාවන්ට ගොඩක් දියුණුවට පත්වෙන්න පුළුවන්. මෙවැනි නිවාසවල කාන්තාවන් ආරම්භ කරන ව්‍යාපාර ඉක්මනින් දියුණු වනවා.

උතුර හා බටහිරට මාර්ග පවතින නිවාසවලට ශුභයි. සෞභාග්‍ය ඇතිවෙනවා.

උතුරට හා දකුණට මාර්ග දෙපසට ඇති නිවෙස්වල පදිංචි අයට ලොකු අශුභයක් හා ලොකු ශුභදායකතාවක් නොමැති වන අතර සමඵල ප්‍රතිඵල අත්වේ.

ඔබගේ පදිංචි භූමියේ නිවසට මුහුණලා තුංමසලක් ආකාරයට මාර්ග වැටී පවතී නම් එය අශුභදායක වේ. නිවසේ අසමඟිය, ධන හානි, අමනුෂ්‍ය දෝෂ හටගනී. නිවැසියන් රෝගී කරයි. හදිසි අනතුරු පීඩා ඇතිවේ. මේ ආකාරයට මංසන්ධි දෙකක් නිවස දෙපසින්ම පිහිටීම හෝ සතර දිශාවන්ට වැටී ඇති මාර්ග සහිත නිවසක පාරවල් 4ට ම හසුවන පරිදි තුංමංහන්දි 4ක් සතර දිශාවටම වැටී තිබේ නම් එවැනි නිවසක ජීවත්වීම දැළි පිහියෙන් කිරි කෑම හා සමානය. ඉතාම අශුභ මරණයෙන් කෙළවර වන දෝෂ හටගනී.

කුමන ආකාරයක හෝ වැරදි අයුරින් නිවසට පැමිණෙන තමාගේ පදිංචි භූමියට ප්‍රවේශ වන මාර්ගය ඉඩකඩ පවතී නම් නිවැරදි කිරීමට හැකියාව පැවතුණ ද ප්‍රාදේශීය සභා, නගර සභා, ප්‍රධාන මාර්ග වෙනස් කිරීමේ හැකියාව නොපවතී. කුමන දෝෂ පැවතිය ද එය වෙනස් කළ නොහැක. එවැනි භූමි සඳහා විශේෂයෙන්ම නිවසට ප්‍රවේශ වන ගේට්ටුවෙහි දකුණු පසට වන්න හෝ ගේට්ටුව දෙපසම හෝ සුදු හඳුන් ශාකයක් රෝපණය කිරීමෙන් මාර්ග, වේද දෝෂ තත්ත්වයන් ශාකයන් මගින් විමෝචනය කිරීමට හැකියාව පවතී.

ගෙදරට ගොඩවන පාරවල් වැරදුනොත් සුව නැත - වාස්තු විද්‍යාවෙන් හරිම පාර සොයාගමු

දේශබන්ධු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්‍ද්‍රසිරි
සෙන්දිරියමුල්ල – සඳලංකාව
0777 856649

advertistmentadvertistment
advertistmentadvertistment