සිංහල බෞද්ධ ජ්‍යොතිෂය

479

බුදුරජාණන් වහන්සේ; නොකළ යුතු කටයුතු 21 ක් ඇති බව භික්ෂූන් වහන්සේට දේශනා කර ඇත. ඒ කරුණු 21 තුළ ගිහියන් සමග ඉතා දැඩි සම්බන්ධතා ඇති කරලීමට හේතු වන කරුණු තිබේ. මේ අතරින් ජ්‍යොතිෂය ද එක් කරුණකි.

නමුත් මෙම තීරණය පසු කලකදී බුදුරජාණන් වහන්සේටම වෙනස් කිරීමට සිදු විය. තම අනුගාමිකයන්ට ජ්‍යොතිෂය අකප යැයි දේශනා කළ උන්වහන්සේ නැවත එය ඉගෙනීම සුදුසු යැයි කීමට හේතු වූ කරුණු මෙසේය.

වනවාසී භික්ෂූන් වහන්සේ සමුහයක් අභියසට ගිය සොරුන් පිරිසක් අද දින චන්ද්‍රයා කුමන නැකතක සිටී දැයි විමසා ඇත. එකල ජ්‍යොතිෂය ගැන අවබෝධයක් නොතිබූ එම භික්ෂූන් වහන්සේට පිළිතුරක් දීමට නොහැකි විය. කෝපයට පත් සොරු භික්ෂූන්ට පහර දුන්හ.

මෙම සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැන ගැනීමට ලැබීමෙන් පසු වනවාසි භික්ෂුන් විසින් ආකාශයේ දිශාවන් නැකැත් පිහිටි තැන් ආදිය උගත යුතු යැයි වදාළහ. පොහොය කර්ම කිරීමට සඳේ ගමන ගැන දැනුමක් භික්ෂුන් වහන්සේට තිබිය යුතුය. වස් වැසීම සඳහා, ජ්‍යොතිෂයේ කාල නිර්ණය තිබිය යුතුය.

අතීතයේ ලංකාවේ විසූ බොහෝ පඬිවරුන් ජ්‍යොතිෂය ගැන දැනුමෙන් පරිපූර්ණව සිටියහ. මහාවංශය අනුව,

1) පඬුවස්දෙව් කුමරුගේ ලංකාගමනය

2) බුදු සසුන පිහිටුවීම

3) පරිවාර ස්ත්‍රීන් සමඟ භද්දකච්චායනා කුමරියගේ ලංකාගමනය

4) උන්මාද චිත්‍රා කුමරියගේ පුතෙක් මාමාවරුන් මරණ බව

5) එකී උන්මාද චිත්‍රා කුමරියගේ පුතා වන පණ්ඩුකාභය කුමරු ශිල්ප සතර ඉගෙනීම සඳහා පණ්ඩුල බ්‍රාහ්මණයා කරා ගිය විට, ඔහුගේ නාමය පණ්ඩුකාභය දැයි අසා ඔහුට ලැබෙන බිරිඳ සහ රාජ්‍ය කාලය ගැන ප්‍රකාශ කිරීම

6) සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමරවරුන් තිදෙනා පාලමක් උඩින් යන විට ඔවුන් ගමන් කරන අඩි ශබ්දය අසා ඔවුන් තිදෙනාම ලංකාවේ රජවන බව බ්‍රාහ්මණයෙකු විසින් ප්‍රකාශ කිරීම

වැනි කරුණු ලංකාවේ බෞද්ධ ජ්‍යෙතිෂය පිළිබඳව ඉඟි පවසයි.

කලිකාල සාහිත්‍ය පණ්ඩිත පරාක්‍රමබාහු රජු සමයේදී අත්තනගල්ල විහාරයේ වැඩ වාසය කළ අනවමදර්ශී සංඝරාජයාණන් වහන්සේ විසින් ලියන ලද දෛවඥ කාමධේනු නමැති පොත අපේ උරුමයකි. ඉන්ද්‍රගුරුලුව, යම කාලය, දඬු මොනරය, ඊශ්වර පොත, මයිමතය, හෝරාභරණය සහ ගෙබිම් ශ්‍රාස්ත්‍රය යන පොත් ද සිංහල බෞද්ධයන්ට ආාවේණික වූ ජ්‍යොතිෂ ග්‍රන්ථයන් වෙයි. රාජාවලිය අනුව විජයබාහු රජු චීනයට අල්ලාගෙන ගිය අවස්ථාවේදී සුනේත්‍රා දේවිය තම පුතු වන පැරකුම්බා, වීදාගම හිමියන්ට භාර කළේය. වීදාගම හිමි කුමරුගේ කේන්ද්‍රය බලා අනාගතය දුටුවේය. හයවන පැරකුම්බා නමින් පසුව රජ වූයේ එම කුමාරයාය. එම රජුගේ දියණිය වූ උලකුඩ දේවිය හෙවත් ලෝකනාථා කුමරිය විසින් කුමාරයෙකු බිහිකළේ නවම් මස පුර පක්‍ෂයෙහි අස්ලිස නැකතින් බව සැළලිහිණි සංදේශයේ සඳහන් වේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් කැලණියේ විභිෂණ දෙවියන් වෙත සැළලිහිණියෙකු මගින් ගෙන යන ලද සංදේශයේ ප්‍රතිඵලයක් ලෙස උලකුඩ දේවිය හෙවත් ලෝකනාථා කුමරියට පුත්වරුන් ලැබිණ. මේ සඳහා රචිත සෙත් කවිය මෙසේය.

සෙත් කවිය

දික් රුපු කිරුලු මල් දම් සුවඳ මී වැස
සෙත් සිරි පා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවණක් සොඳ දුන මැනවි නිසි ලෙස

දෙවන රාජසිංහ කුමරු මහියංගනයේදී උපත ලබන අවස්ථාවේදී එකල දක්ෂ ජ්‍යොතිර්වේදියකු වූ දියකෙලිනාවල මැතිඳු ගෙන්වා කේන්ද්‍රය විමසා බලා තිබේ. එම කුමරු අනාගතයේදී පුණ්‍යවන්ත රජෙකු වන බවට එම මැතිඳු අනාවැකි පල කළ බව මහ හටන කවි පොතේ සඳහන් වී තිබේ.

අනුරාධපුර මහා බෝධීන් වහන්සේගේ ඉතිහාස කතාව අනුව මගධ රටේ මුල් බෝධි රාජයාණන්ගෙන් ශාඛාවක් ලංකාවට වැඩම කරවීමේ අදහස ඇති වූයේ දේවානම්පියතිස්ස රජතුමාටයි. රජු ඒ වගකීම පැවරුවේ අරිට්ඨ කුමරුටයි. වප් මස පුර පක්‍ෂයේ දෙවන තිථියෙන් අරිට්ඨ කුමරු ගමන පිටත් වූ බවත් එකල ඉන්දියාවේ අශෝක රජුගේ අගනුවර වූ කුසුම්පුරයට ළඟා වූ බවත් වප් මස පුර පසළොස්වක දින මහා බෝධියේ ශාඛාවක් ලබාගත් බවත් එම බෝධි ශාඛාව රැගෙන උඳුවප් මස පුර පස පළමු තිථියෙන් තාම ලිත්ථ නැව්තොටින් පිටත් වූ බවත් එම මාසයේදීම පසළොස්වක පෝය දින අනුරාධපුරයට වැඩම කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

පළමු මොග්ගල්ලාන රජු දුරුතු මස පුර පසළොස්වක පෝය දිනයට වාර්ෂික මහා සංඝ දානය පිළියෙල කර තිබී ඇත. ක්‍රිස්තු වර්ෂ 1752 ඇසළ මස පුරපසළොස්වක දින කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලංකාවේ බුද්ධ ශාසනය පුනරුත්ථාපනය පිළිබඳව ගෞරවයක් වශයෙන් මහා දානමය පින්කමක් කළ බව මහා වංශයේ සඳහන් වේ. මහසාර පෝය යනු පසළොස්වක පෝයයි. දෙවන පැරකුම්බා රජු මහාසාර පෝයට අට සිල් සමාදන් වූ බව දඹදෙණිය අස්නෙහි සඳහන් වේ. එසේම සද්ධාතිස්ස රජතුමා මහාසාර පෝය දින අටසිල් සමාදන් වූ බව සඳගිරි ලෙන් ලිපියේ සඳහන්ව ඇත.

සිත ප්‍රසන්න වන සිතේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ මට්ටමකට එන පසළොස්වක තිථිය චිත්ත අභ්‍යාස සඳහා යොදාගත් බව මේ අනුව පෙනී යයි.

දළදා මාලිගාවේ පෙරහැර කර්මයේදී කප් සිටුවීමේ සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා ඇති සියලුම වැදගත් කරුණු සිදුකර ඇත්තේ ජ්‍යොතිෂය අනුවයි. මේ සඳහා අපටම ආවේණික ජ්‍යොතිෂය ක්‍රම එහි දේවාල කපු මහතුන් විසින් යොදාගෙන තිබේ. මීට අවුරුදු 45 කට පමණ පෙර මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වාසය කළ යෝගී දම්සෙන් රත්නායක මහතා මට ප්‍රකාශ කළේ මේ නැකැත් කරුණු සඳහා සිංහල උමා ජ්‍යොතිෂය උපයෝගි කර ගන්නා බවයි.

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂය,
දලුග්ගල, රඹුක්කන
දු. අංකය 0352262837


advertistmentadvertistment