සුදු කළු කර්මය

140

සත්ත්වයා මිථ්‍යා දෘෂ්ටියෙන් මුදා සම්මාදිට්ඨියෙහි පිහිටුවාලීම සඳහා බුදු දහම නිබඳව අනුශාසනා කරනු දක්නට ලැබේ. ඒ සඳහා දේශිත අනුශාසනා පෙළ දහමෙහි නිතර හමුවේ. යහපත කරන්නාට යහපත් ප්‍රතිඵලද අයහපත කරන්නාට අයහපත් ප්‍රතිඵලද අත්විඳීමට සිදුවන බව බුදුසමය අවධාරණය කරයි. වපුරන්නේ යම් බීජයක්ද ඵල වශයෙන් ලැබෙන්නේ ඊට සමාන ඵලයි. එමෙන්ම කරන කර්මයන්ට අනුරූපව ප්‍රතිඵල ලැබේ. තවද කර්මය නිසා ලෝකය පවත්නා බවත් කර්මය නිසා ප්‍රජාව ජීවත් වන බවත් ගමන් කරන රථයක රෝදය නොගැළවීමට සවිකරන කඩ ඇණය ලෙසින් සත්ත්වයා කර්මයට බැඳී පවත්නා බවද සඳහන්වේ.

මෙබඳු තත්ත්වයන් මත කයින්, වදනින්, සිතින්, කර්ම කිරීමේදී යළි යළිත් නුවණින් විමසා බලා එය සිදුකරන ලෙස පෙළ දහමෙහි නිතර අවධාරණය කර ඇත. එහිදී යහපතෙහි යෙදෙන ලෙසත් අයහපතින් මිදෙන ලෙසත් දැක්වේ. දරුවන් හදන දෙමාපියන් විසින් දරුවනට සිදු කළ යුතු යුතුකම් අතර ද පළමුවෙන්ම සඳහන් වන්නේ තම දරුවන් පාපයෙන් මුදා යහපතෙහි යොදවන ලෙසයි. අයහපතින් මිදීම හා යහපතෙහි යෙදීම සඳහා වූ මෙම අනුශාසනාව වූ කලී අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ පමණක් නොව ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං

යමෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයකු වීමට බලපාන ප්‍රධාන සාධක වනුයේ ඔහු විසින් කරනු ලබන කර්මයේ ස්වභාවයයි.

යමෙකු පෙර පින් කර ඇති බව දෙලොව අභිවෘද්ධිදායි මංගල කරුණක් ලෙස දැක්වේ. මෙබඳු ස්වභාවයෙන් යුතු කර්මයට සුළු වූවකැයි අවමන් නොකරන ලෙස ද බුදුසමය අවධාරණය කරයි. පාප කර්ම ඉන්මිදී සැඟවිය හැකි තැනක් මිහිපිට කිසිදු තැනක නැති බව සඳහන් වේ. විපාකයන්හි ස්වභාවය අනුව කර්මය කොටස් හතරකට බෙදේ.

  1. කළු විපාක ඇති කළු කර්ම – සතර අපායේ දුක් විඳීමට හේතුවන කර්ම
  2. සුදු විපාක ඇති සුදු කර්ම – සදෙව් ලොව, බඹලොව ඉපදීමට හේතුවන කර්ම
  3. කළු හා සුදු යන මිශ්‍ර විපාක ජනිත වන කර්ම – මිනිස් ලොව ඉපදීමට හේතුවන කර්ම
  4. කළුද නොවූ සුදුද නොවූ විපාක දෙන කළු ද නොවූ කර්ම – නිවන/ කර්ම

මෙලොව ඇතමෙක් දෝෂ සහිතව කයින් වචනයෙන් සිතින් කර්ම රැස් කරති. මෙලෙස ඔහු කයින් වචනයෙන් සිතින් දෝෂ සහිතව කර්ම රැස්කොට දෝෂ සහිතවූ ලෝකයට උපතක් සඳහා පැමිණෙයි. දුක් සහිත ලොවෙහි උපත ලද ඔහු දුක් සහිත විපාක ස්පර්ශ කරයි. දුක් සහිත ස්පර්ශයන්ගෙන් පහස ලද ඔහු ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාක වේදනා විඳියි. නිරයෙහි සත්ත්වයන් දුක් විඳින්නාක් මෙනි. අනිෂ්ට විපාක ඇති අකුසල කර්ම යයි කියනු ලබන්නේ මෙබඳු කර්මයන්ටය.

මෙලොව ඇතැමෙක් නිදොස් වූ කාය, වචී, මනෝ සංස්කාර රැස් කරති. මෙලෙස නිදොස් වූ කාය, වචී. මනෝ සංස්කාර රැස් කොට දුක් රහිත ලොවක උපතට පැමිණෙති. දුක් නැති ලොවට පැමිණෙන ඔහු දුක් රහිත විපාක ස්පර්ශ කරයි. නිදුක් ස්පර්ශයන්ගෙන් පහළ ලද ඔහු ඒකාන්තයෙන් සැප සහිත වූ ආබාධ රහිතව සැප වේදනා විඳියි. සුභකිණ්ණ දෙවියන් මෙනි.

මෙලොව ඇතැමෙක් සදොස් වූද නිදොස්වූද කාය, වාග්, මනෝ කර්ම රැස් කරයි. මෙලෙස සදොස් සහ නිදොස් වූ කර්ම තිදොරින් රැස්කොට දුක් සහිත වූද, දුක් රහිත වූද, ලෝකයන්හි උපත ලබති. ඊට අනුරූපව කලින් කල දුක් සහිත වූද දුක් රහිත වූද විපාක වේදනා විඳියි. ඇතැමෙක් මිනිසුන් මෙනි. ඇතැමෙක් වේමානිත දෙවියන් මෙනි.

මෙලොව කළු විපාක ගෙන දෙන කළු කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇද්ද සුදු විපාක ගෙන දෙන සුදු කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇත්ද කළු සුදු මිශ්‍ර විපාක ගෙන දෙන කළු සුදු මිශ්‍ර කර්මයන්ගේ ක්ෂය කිරීම සඳහා හේතුවන යම් චේතනාවක් ඇත්ද, මෙය කර්ම ක්ෂය කිරීම සඳහා හේතුවන කළුත් නොවන සුදුත් නොවන කර්ම යයි කියනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ මෙම සතරාකාර කර්මයන් ලොවට දේශනා කරන්නේ තමන් වහන්සේගේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ගෙන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – සුසිල් ජයකොඩි
0722081522

advertistmentadvertistment
advertistmentadvertistment