සංගීතයේ නූතනම මිනිසා

229

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයෝ සංගීතඥයෙක් පමණක් නොවෙති. එතුමෝ සංගීතවේදියෙක්ම (Musicologist) වෙති. සංගීතවේදියකු යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සංගීතය පිළිබඳව නිරන්තර අධ්‍යයන කටයුතුවල යෙදෙන, සංගීතය පිළිබඳව පර්යේෂණ කටයුතුවල නිරත වන පුද්ගලයාය. සංගීතවේදී කේමදාසයන් ඇසුරු කළ සහ ඔහුගේ නිර්මාණ දායකත්වය ලබා ගත් බොහෝ කලාකරුවන් පවසන අන්දමට සංගීතවේදියා ඉක්මවූ මිනිසෙක්ද කේමදාස තුළ වෙසෙයි.

එය ඇතැම් විට බාක්, මොසාර්ට්, බිතෝවන්, අයිස්ලර්, වැග්නර් වැනි අසාමාන්‍ය ප‍්‍රතිභාවක් සහිත සංගීතඥයන් තුළින් ප‍්‍රකට වූ සුවිශේෂී විය හැකිය. ඇතැම් විට ඊටත් වඩා වූ සුවිශේෂයක් විය හැකිය. මෙහිදී අප කා තුළත් පහළ වන විස්මය එය නොවේ.

අප මුලින් සඳහන් කළ ශ්‍රේෂ්ඨ යුරෝපීය සංගීතඥයන් බිහි වීම සඳහා වූ මහා සංගීත සංස්කෘතියක් ඒ ඒ සංගීතඥයන් පසුබිමේ තිබිණි.

එහෙත්, සංගීතවේදී කේමදාස බිහි වන්නේ එබඳු මහා සංගීත සංස්කෘතියක් හෝ මහා සංගීත සම්ප‍්‍රදායක් පසුබිමේ හෝ නොවේ. ඔහු පසුබිමේ තිබුණේ එක තැන රැඳෙමින් තිබූ අපගේ ජන සංගීතය හා උත්තර භාරතීය රාගධාරි සංගීතයේ සුළඟක්ද පමණි.

කලාව බිහිවන්නේ මානව ශිෂ්ටාචාරය නමැති සප‍්‍රාණික වෘක්ෂයේ පිළිසිඳුණු මියුරු ඵලයක් වශයෙන් වුවද අද එම වෘක්ෂය පෝෂණය කරනු ලබනනේ ද අර මියුරු ඵලය විසින්ම වීම විස්මයජනකය.

එසේ නොවන්නට එම වෘක්ෂය විවිධ වර්ගවල කඳ පණුවන් විසින් (මේ සන්දර්භය තුළ දේශපාලනය ද කඳ පණුවෙකි) විනාශ කරනු ලැබ පසට එකතු වූ යම් ද්‍රව්‍යයක් වීමට හොඳටම ඉඩ තිබිණි.

මේ සුවිශේෂ මෙහෙවර අරභයා ශිෂ්ටාචාරය විසින් කලාවට මේ දැනුත් කෘතඥතාව පළ කරනු ලැබේ. කලාව එය ගණනකට නොගෙන තම සුපුරුදු කාර්යයේ නිරත වෙයි. ඒ විසින් ශිෂ්ටාචාරය සුරකිනු ලැබේ. ශිෂ්ටාචාරය වවනු සහ ලියලවනු ලැබේ.

එසේ කිරීමට සමත් කලාකරුවෝ කලාවට සිටියහ. ෂේක්ස්පියර්, මිල්ටන්, ගතේ, ටෝල්ස්ටෝයි, ඩාවින්චි, බිතෝවන්, තාගෝර් ඉන් කිහිප දෙනෙක් පමණි. ඔවුහු තම තමන්ගේ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබමින් හා තම ජනතාව ගේ භාවමය ජීවිතයෙන් අනුප‍්‍රාණය ලබමින් ශිෂ්ටාචාරයට එකතු කළ දේ සුළුපටු නොවේ.

එබඳු මහා කලාකරුවෝ රටේ ද නොසිටියෝ නොවෙති. මාර්ටින් වික‍්‍රමසිංහ, ජෝර්ජ් කීට්, චිත‍්‍රසේන, සරච්චන්ද්‍ර, ලෙස්ටර්, අමරදේව ඉන් කිහිප දෙනෙකි. සංගීතඥ පේ‍්‍රමසිරි කේමදාස යනු මේ නම් වැළට අලූතින් එකතු වන්නා නොවේ. ඔහු වූ කලී මේ ඉහත නම් කළ සියලූ දෙනාගේම ආත්මය සහිතව ජීවත් වූ පැරැණි මිනිසාය. විස්මය නම්, ඔහු එකවිටම පැරැුණි මිනිසා සේම නූතනම මිනිසාද වීමය. රටේ මිනිසුන් මේ ‘‘වයසට නොයෙන’’ මිනිසා දෙස විස්මයෙන් යුතුව බලා සිටි අතර ඔහු ගේ සංගීත නිර්මාණ දෙසවනින් සේම මනසින්ද ශ‍්‍රවණය කළහ. දෙනෙතින් බලා කියැවූහ.

කේමදාසයෝ මේ උභය සංගීත සම්ප‍්‍රදාය බැහැර නොකළෝය. එහෙත්, එහි ශක්තියත් සාරයත් වෙනුවට ඒවායේ පිටපොත්ත ගෙන තම සංගීතය සැරැුසීමට නොපෙළඹුණෝය. ඔහු අත තබන විට නිදා සිටින ජන ගීතය අවදි වන සැටිත්, ඔහු තට්ටු කරන විට රාගධාරි සංගීතය දිවැවිත් ඔහු වැළඳ ගන්නා සැටිත් අපට පෙනෙන්නේ එහෙයනි.

බටහිර සංගීත සම්ප‍්‍රදාය ද අනේ ඇවිත් අප වැළඳ ගන්නැයි ඔහුට සංගීත වීසා කිලෝ ගණනින් එවන මුත් කේමදාසයන් කළේ කනේ කරාබුවක් දමාගෙන එහි දිව නොයයි.

ඔහු බාක්, බිතෝවන්, මෝසාර්ට්, ප්‍රොකෆිව්, වැග්නර්, අයිස්ලර් පමණක් නොව යානි ද ඇසුරු කරන මුත් ඔවුන්ගේ ගෙවල්වල පදිංචියට නොයයි.

ඔහු අපගේ දුප්පත් ජනතාවගේ හදවත් ඇසුරින් ලෝකයට යමක් නිර්මාණය කරයි. ඔහු ලෝකයේ පොහොසත් හදවත් ඇසුරින් අපගේ ජනතාවට යමක් නිර්මාණය කරයි. ඔහු ආචාර්ය කේමදාස වන්නේ ඒ නිසාය.

ජයන්ත චන්ද්‍රසිරි

සංගීතයේ නූතනම මිනිසා
advertistmentadvertistment
advertistmentadvertistment