සෙලාන් බැංකුවේ සභාපති ලෙස බුවනෙක අලුවිහාරේ මහතා පත්කෙරේ

13

සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ.

දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වන විට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත (ආයතනික පාලන) අනුව විශ්‍රාම යනු ඇත. මීට පෙර 2024 පෙබරවාරි මාසයේදී අලුවිහාරේ මහතා සෙලාන් බෑන්ක් පීඑල්සී හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත්කරන ලදී.

නීති ක්‍ෂේත්‍රයේ මෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ දීර්ඝකාලීන පළපුරුද්දක් හිමි අලුවිහාරේ මහතා තම වෘත්තීය ජීවිතයේදී එම ක්‍ෂේත්‍ර තුළ කැපීපෙනෙන තනතුරු රැසක් දරා ඇත.

1982 වර්ෂයේදී නීති වෘත්තියට එක්වුණු අලුවිහාරේ මහතා රජයේ නීතීඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සමග එක් වී, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2013 වසරේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට පත් වූ අතර, එම වසරේදීම ජනාධිපති නීතීඥවරයකු ලෙසද පත්වීම් ලැබී ය. ශ්‍රී ලංකාවේ සහ ෆීජි දූපත්වල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස සේවය කර ඇති අලුවිහාරේ මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ මෙන්ම විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ද වේ.

සෙලාන් බැංකුවේ සභාපති තනතුරට බුවනෙක අලුවිහාරේ මහතා පත්කිරීම, එම බැංකුවේ වර්ධනයේ සහ සාර්ථකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. නීති ක්‍ෂේත්‍රය මෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ මහතා සතු පෘථුල දැනුම සහ දීර්ඝකාලීන පළපුරුද්ද, රටේ සුභසිද්ධියට දායක වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයා බවට පත්වීම සඳහා සෙලාන් බැංකුවට ශක්තිමත් මගපෙන්වීමක් ලබාදෙනු නිසැක ය.

advertistmentadvertistment
advertistmentadvertistment