හඟුරන්කෙත තරුණයාගේ ඝාතකයන් අල්ලන්නැයි පොලිසිය ඉදිරිපිට පුංචි යුද්ධයක්

393

කලහකාරීන් විසුරුවන්න පොලිසියෙන් අහසට වෙඩි 38ක්
● ඝාතනයට සැකපිට 9ක් අත්අඩංගුවට ගත්තා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හඟුරන්කෙත ප්‍රදේශයේදී සඳරු සන්තුෂ් නමැති 23 හැවිරිදි තරුණයකුට මිටියකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් හඟුරන්කෙත පොලිසියට එරෙහිව විරෝධය දැක්වූ පසුබිමක මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ වලපනේ පදිංචිකරුවෝ වෙති.

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් 200 කට අධික පිරිසක් පෙරේදා (26 දා) රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී ඔවුන් විසුරුවා හැරීමට පොලිසියේ නිලධාරීන් දෙදෙනකු අහසට වෙඩි ප්‍රහාර 38ක් එල්ල කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

මෙම කලහකාරීන් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව ද පෙරළා දමා ඇතුළුවීමට උත්සාහ දරා තිබූ බවත්, එම ගේට්ටුවට දැඩි අලාභහානි සිදුවී ඇති බවත් හෙතෙම පැවසීය.

හඟුරන්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පුද්ගලයකු පහරදීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25 වැනිදා මියගොස් ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකර ඊට සම්බන්ධ එක් සැකකාරියක අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ඝාතනයට සම්බන්ධ තවත් සැකරුවන් 8 දෙනකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරමින් තිබියදී පෙරේදා රාත්‍රි ප්‍රදේශවාසීන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බව ද පොලිස් විමර්ශන සම්බන්ධව ජනතාව දැනුවත් කර තිබියදීත් ඔවුන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බව ද පොලිසිය කියයි.

එම පිරිසෙන් වැඩි දෙනකු බීමතින් සිට ඇති බව හෙළිවිණැයි ද පොලිසිය කීය.

මෙම උණුසුම් අවස්ථාවේ එහි සිටි තවත් පිරිසක් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එමගින් පොලිසියේ දේපළවලට ද හානි සිදුවී තිබේ.

එම පිරිසේ කලහකාරී හැසිරීම අනුව මොවුන් පොලිස් ස්ථානයට ඇතුළු වුවහොත් සිදුවිය හැකි හානිය සහ නිලධාරීන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමුකර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගය මත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අහසට වෙඩි ප්‍රහාර 38ක් එල්ල කර තිබේ.

එම වෙඩි තැබීමෙන් පසු කලහකාරීන් පොලිස් භූමියට ඇතුළු නොවී ඉවතට ගොස් හඟුරන්කෙත මහනුවර ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් විරෝධය දක්වා විසිර ගොස් ඇත.

මෙම සිදුවීමෙන් ජීවිත හානි සිදුවී නැති අතර පොලිසියේ ප්‍රධාන ගේට්ටුව පෙරළා දැමීමෙන් එයට දැඩි හානි සිදුව තිබේ.

කලහකාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

ඉඩමක් සම්බන්ධයෙන් කාන්තාවක සමග ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු මතුරට ප්‍රදේශයේ පදිංචි 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යතුරුපැදිවලින් එම කාන්තාවගේ සහායට පැමිණ ඇති අතර සන්තුෂ් නමැති තරුණයා තම ජංගම දුරකථනයෙන් එම සිද්ධිය රූගත කර තිබේ.

එහිදී තරුණයාගේ හිසට මිටියකින් පහරදී තිබෙන අතර බරපතළ තුවාල ලැබූ ඔහු හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලටත්, පසුව මහනුවර ජාතික රෝහලටත් ඇතුළු කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28 දා) සිදු කිරීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment