හබරකඩ බාර් එකක් අරිනවාට එරෙහිව ගම්මු පෙරට එති

34

මාවරලේ භද්දිය හිමියන්ගේ පන්සලත් එරෙහි වෙයි
ගමේ සාමකාමී පරිසරය වනසන වැඩක් – දිවිතුරේ පඤ්ඤාකිත්ති නාහිමි

විහාරස්ථානවලට පාසලට සමීපව හෝමාගම හබරකඩ මංසන්දියේ නව තැබෑරුමක් ස්ථාපිත කිරීමට ගෙන යන තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව දැඩි විරෝධය ප්‍රකාශ කරති.

කොළඹ සංඝරාජ මාවතේ තිබූ තැබෑරුමක් මෙසේ හබරකඩ ස්ථාපිත කිරීමට සූදානම් වෙමින් තිබේ.

මහා සංඝරත්නය සහ ප්‍රජා සංවිධාන විස්සකට අධික සංඛ්‍යාවක් මීට එරෙහිව හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත විරෝධතා ලිපි ගොනුකර තිබේ. දිවිතුරේ පඤ්ඤාකිත්ති අධිකරණ සංඝනායක හිමියන් අධිපතිත්වය දරන හබරකඩ ධර්මවිජයාශ්‍රම, උහන නන්දරතන හිමියන් අධිපතිත්වය දරන හබරකඩ ශ්‍රී ශෛලන්තායනය, අතුරුගිරියේ විමලවංශ අධිපතිත්වය දරන මුල්ලේගම සුගත නන්දාරාම පුරාණ විහාරය, හබරකඩ වත්ත අරිය පටිපදා සෙනසුන, මාවරලේ භද්දිය හිමියන් අධිපතිත්වය උසුලන මුල්ලේගම ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථාන ද හබරකඩවත්ත පරෝපාකාර සමිතිය, හබරකඩවත්ත පැරකුම් ගොවි සංවිධානය, හබරකඩ මුල්ලේගම අක්ෂිදාන සමිතිය, හබරකඩ ප්‍රජා පොලිස් ආරක්ෂක කමිටුව, හබරකඩ මුල්ලේගම විශ්‍රාමිකයන්ගේ සංගමය, හබරකඩ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සුභසාධක සංගමය, හබරකඩවත්ත ප්‍රජා මණ්ඩලය, හබරකඩ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමය, හබරකඩ ධර්මවිජය දහම් පාසලේ ගුරු සංගමය ඇතුළු ස්වේච්ඡා සංවිධානද මීට විරෝධතා ගොනුකර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ හබරකඩ ධර්මවිජයාශ්‍රයේ අධිපති දිවිතුරේ පඤ්ඤාකිත්ති අධිකරණ සංඝනායක හිමියන් සඳහන් කළේ ගමේ සාමකාමී පරිසරය විනාශ වීමට මෙය හේතුවන බවය. ඊට ඉඩ දිය නොහැකි බවත් තැබෑරුම ස්ථාපිත කිරීම වැළැක්වීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment