කේතුමතී සායනයට පැමිණි කත වෛද්‍යවරයාගේ බෑගයට සුද්දයක් දීලා

77

පානදුර කේතුමතී කාන්තා රෝහලට පැමිණ සිටි රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන ලාංකික වෛද්‍යවරයෙක්ට අයත් ගමන් මල්ලේ තිබූ නවීන අයි පෑඩ්, පවර් බෑන්ක් සහ ඒ.ටී.එම්. කාඩ්පත සොරකම් කර එයින් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන වෛද්‍යවරයෙක් පානදුර කේතුමතී කාන්තා රෝහලේ ප්‍රායෝගික පුහුණුවක් සඳහා පැමිණ සිටියදී ගමන් මල්ලේ තිබූ නවීන අයිපෑඩ් එක, පවර් බෑන්ක් එක සහ ඒ.ටී.එම්. කාඩ්පතද සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ.ටී.එම්. කාඩ්පත උපයෝගී කරගනිමින් බණ්ඩාරගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් මුදල් ලබාගත් බව විමර්ශනවලදී තහවුරු වීමෙන් පසු එහි ආරක්ෂක කැමරා පරීක්ෂා කර සැකකාරිය හඳුනාගෙන ඇති බවත්, සොරකම සිදුවූ දිනයේ කාන්තාව පානදුර කේතුමතී කාන්තා රෝහලේ සායනයකට සහභාගී වී ඇති බවත් තහවුරු කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි. සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. හේමාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ. වරුන් වන ඉන්දික (9476), කුමාර (68938), චමින්ද (38049), පො.කො. වරුන් වන ජයවික්‍රම (99513), බණ්ඩාරනායක (100014), මධුමාල් (100103), බණ්ඩාර (100265) සහ කාන්තා ගයත්‍රී (9374) වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment