හිඟ සුරා බදු බිලියන 7න් 4ක්ම ප්‍රමාද ගාස්තු

68

සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු වශයෙන් රුපියල් බිලියන 07ක් අයකර ගැනීමට නියමිතව තිබුණත් ඉන් බිලියන 04ක් ඉහත මුළු මුදලින් ප්‍රමාද ගාස්තු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි. ඒ අනුව මුළු හිඟ බදු මුදල රුපියල් බිලියන 03ක් බවද ඔහු කියා සිටී.

මෙම හිඟ බදු මුදල් අතර වසර 05 සිට වසර 15 දක්වා කාලය තුළ අයවිය යුතු හිඟ මුදල්ද තියෙන බවත් ඒ මහතා පැවසීය. හිඟ බදු සඳහා වර්ෂයකට සියයට 36ක පොළියක් අයකරන බවත් ඒ අනුව මත්පැන් සමාගම් විසින් හිඟ බදු ගෙවීම් ප්‍රමාදවන විට පොළියද ඊට සාපේක්ෂව ඉහළ යන බවත් ඒ මහතා පවසයි.

2023 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක් ගෙවීමට තිබුණත් ඉන් මිලියන 326ක් මේ වනවිට ගෙවා තිබෙන බවත් ඉතිරි මිලියන 777 මේ වසරේ නොවැම්බර් මාසය වන විට ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බවත් ඒ මහතා කීය.

2024 වර්ෂය තුළ සුරාබදු බලපත්‍ර 37ක් ලබාදී තිබෙන බවත් එය නීත්‍යානුකූලව ලබාදී තිබෙන බවත් ඒ මහතා කීය.

සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීමට තිබෙන සමාගම් පවත්වාගෙන යන ගමන් බදු අයකර ගැනීම අරමුණ බවද බදු ප්‍රමාදවීම් නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කළහොත් රජයට ලැබීමට නියමිත බදු ප්‍රමාණයද නොලැබී යනු ඇති බවද ඒ මහතා කීය. ඊට අමතරව එම ආයතන වසා දැමීමෙන් රැකියා අහිමිවීම ඇතුළුව ගැටලු රැසක්ද මතුවන වන බවද ඒ මහතා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment