හිස නැති ගෙවල් හදා දුකට පත්වෙන්න එපා

2887

පසුගිය සතියේ එකම ආකාරයට පැවති නවීන පන්නයට ඉදිකළ නිවාස දෙකක් පළාත් දෙකකින් පරීක්ෂාව සඳහා සහභාගිවීමට අවස්ථාව ලදිමි. ඉතා විශාල පිරිවැයක් දරමින් ඉදිකර ඇති මෙම නිවාස දෙකටම තවම වසර දෙකක් සම්පූර්ණ වී නොමැත. නිවාස පරීක්ෂාවට නිවස පිහිටි භූමියට ඇතුළු වූ සැණින්ම මනාව මෙහි වහලය දිස්වේ. මෙම නිවාස දෙකම සමන්විත වූයේ එකම වර්ගයේ වහලයකිනි. එනම් වාස්තු විද්‍යාවේ සඳහන් හිසේ කොටසක් අප්‍රාණික වූ හෙවත් තනි පලයේ වහලවල්ය. මෙවැනි තනි පලයේ පිහිටි නිවසක අමුතුවෙන් වාස්තු පරීක්ෂාවන් අනවශ්‍යය. මක්නිසාද වචනයේ පරිසමාප්තියෙන්ම එම නිවාස මළ නිවසකි. එහි පදිංචි අයට විශේෂයෙන්ම ගෘහ හිමියාට සැනසිල්ල, සිතේ සතුට, මානසික ඒකාග්‍රතාවය රැඳීමක් නොමැත. හරියට කියනවා නම් අංශභාග රෝගයකට ලක්වූ ජීවිතයක් වැනිය. නිවසක වහලය පල 02, 03, 04, 05, 07, 08 ඉතාම ශුභයි. පල 06 අශුභයි. තනි පලය ඉතාම අශුභයි.

නිවසකට තබන මුදුන් යටලීය තුළින් එම නිවසේ ගෘහ මූලිකයාගේ ශීර්ෂය නියෝජනය කරයි. මුදුන් යටලීයක් නොමැති නිවසක් හිස නැති මළ කඳක් හෙවත් කාවන්ද රූපයකි. නිවසේ මුදුන් යටලීය මගින් ගෘහ හිමියාගේ නිරෝගීකම, සෞඛ්‍ය, ආර්ථිකය හා සමාජ තත්ත්වය පිළිබඳ හිමිකාරිනියක් පෙන්වයි. වහලයේ දෝෂ සහිතවීම තුළින් ඉදිකරගෙන යන නිවසක ඉතිරි වැඩ කටයුතුවලට බාධා පැමිණේ. මුදල් ලැබීම් දුර්වල වේ. ඉතුරු කොටස් අවසන් කිරීමට සිත් නොදේ. නිවසේ අසමගිය ඇති වේ. රෝගී වේ. ඒ වගේම වහල දෝෂ නිසා, වැරදි ආකාරයට වහල ගැසීම නිසා නිවැසියන් හදිසි අනතුරුවලට, හදිසි මරණවලට ලක්වේ. වහලයේ මර්මස්ථානවලට ඇණ ගැසීමෙන් මූට්ටු දැමීමෙන් ගෘහ හිමියා විපතට පීඩාවට පත්වේ. එම නිසා වහලය හා මුදුන් යටලී, බිත්ති යටලී, කුරුපා, පරාල, රීප්ප ආදිය වගේම කුරුපා යෙදීමද සිදුකළ යුත්තේ දෝෂයන්ට ලක්නොවන ආකාරයට ඉතා දක්ෂ පළපුරුදු අවබෝධයක් සහිත වඩු කාර්මිකයන් විසින්මය.

තනිපල වහලයක් සහිත නිවසක, වෙළඳසැලක ජීව ගුණයක් පවතින්නේ නැත. ජීව ගුණය රැඳීමට නම් එය දෙපසට සමබර වන ආකාරයට මුදුන් යටලීයට මැදිවී දෙපසට විහිදෙන වහලයක් විය යුතුය. වහලය තනි පලයට ඉදිකිරීමෙන් මුදුන් යටලීය අනාරක්ෂිතව එළියට විසිවෙන තත්ත්වයක් ඇති වේ. එයම නිවසේ හිමිකරුට අත් වේ. අපගේ පියවි ඇසින් මෙම වහලයේ ඇති මුදුන් යටලී, යටලී, කුරුපා ආදිය දර්ශනය වන්නේ ගස්වලින් කපා ඉරාදමා සකස් කළ දැව වශයෙනි. නමුත් මෙම දැව කඳන්වලින් සකස් කරන යටලී ඉහළ අහසේ තරු කැට සමග සම්බන්ධ වෙමින් විශ්වයේ ශක්තීන් නිවසට ඇදගැනීමේ හැකියාව හා ඒවා දවසේ පවතින නොපෙනන අංශු මගින් ශුභ කිරණ හා අශුභ කිරණ වශයෙන් ගුරුත්වාකර්ෂණ බලයෙන් මනුෂ්‍යයාගේ ශීර්ෂයට ලබාදේ. වාස්තු විද්‍යාත්මකව විශ්වයට අවනතව ඉදිකළ වහලයක් මගින් ශුභ ශක්තීන් පැමිණෙන අතර වාස්තුදෝෂ සහිත වහලයකින් පැමිණෙන්නේ අශුභ ශක්තීන්ය. අපි මාර්ගවල ගමන් කරන විට අපහට බහුලව වෙළඳසල්, ගොඩනැඟිලි දැකීමට හැකිය. මෙම ගොඩනැඟිලිවල වහලය පිළිබඳ පරීක්ෂාකාරීව බලන්න. තනි පලයට වහලය ඇති එවැනි වෙළඳසල් 50ක් ගැන බලන්න. එහිදී ඔබට එයින් වෙළඳසල් 30කට වැඩි ප්‍රමාණයක් පාළුවී වසා දමා ඇති ආකාරය දැකගැනීමට හැක. තනිපල සහිත වෙළඳසැලක එහි හිමිකරුට කොතරම් මුදල් තිබුණද වැඩිකල් සාර්ථකව කළ නොහැක. එවැනි වෙළඳසැලක ණයට බඩු දීම තුළින් ණය අයකර ගත නොහැක. මුදලාලිට කොතරම් මුදල් තිබුණද හිසට සැනසීමක් නොමැත. තමන්ගේ ජන්ම කේන්ද්‍රය ඉතා බලවත්ව පවතින අයට පමණක් එය බලවත්ව පවතිනතුරු වෙළඳසැල කළ හැකි අතර එය දුර්වල වූ විගස එය වසාදමන තත්ත්වයට පත්වේ. එය මුදලාලිගේ ආර්ථීක දුෂ්කරතා, අලාභ, සොර සතුරු ක්‍රියා, හදිසි අනතුරු හෝ තමන්ගේ වියෝව තුළින් සිදුවීමට හැකිය. වාස්තු විද්‍යාවේ පෙන්වාදෙන ආකාරයට නිවසක තබන ප්‍රධාන මුදුන් යටලීයට ප්‍රධාන උළුවස්ස ඇතුළුව අනෙකුත් උළුවහු උඩ පඩි කඳ මතට තිරස්ව හෝ සිරස්ව වැටීම අශුභ වේ. වෙළඳසල්වල විශේෂයෙන්ම තනි පලයට ඉදිකරන ලද වහලයේ මුදුන් යටලීය තිරස්ව ප්‍රධාන දොර මැදින් ඉදිවෙනු ඇත. වෙළඳසැලට ඇතුල් විය හැක්කේ මෙම උළුවහු කඳ මධ්‍යයේ හෝ කොන්ක්‍රීට් බීම් මත හරහට වැටී තිබෙන මුදුන් ලීය යටින්ය. මෙය තුළින් නිතර නිතර ගමන් කිරීමෙන් වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයන්ටත් මෙම බලපෑම ගුරුත්වාකර්ෂණයෙන් ලැබෙනු ඇත. කලක් ගතවීමෙන් පැමිණෙන අයටද වෙළඳසැලට පැමිණීම එපා වනු ඇත.

නිවසක මාතෘ බිත්තිය මතින් දිවෙන මෙම මුදුන් යටලීයට ඍජුව හසුවෙන කාමරවලට ප්‍රවේශවීමේ දොරවල්වල පවතින උළුවහු කඳ මැදිවන ලෙස මුදුන් යටලීය වැටී පැවතීම හා එය යටින් නිතර කාමරයට යෑම, පිටවීම තුළින් ඇතිවන ආතති බලයන් නිවැසියන් සියල්ලන්ටම බලපානු ඇත.

එලෙස පවතින නිවාසවල ජීව ගුණය දිනෙන් දින පිරිහේ. දියුණුව ඇණහිටී. නිවසේ අසමගිකම ඇති වේ. රැකියා කරන අයට ආයතනයේ නොයෙක් ගැටලු, බාධා, අභූත චෝදනා, තමාගේ කීර්තිනාමය විනාශවීම, රැකියාවෙන් නෙරපීම, නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇතිවනු ඇත.

වර්තමානයේ තනි පලයට වහලය ඉදිකරන අලුත්ම නිවාස සැලසුම වන්නේ බොක්ස් මොඩල් නිවාසයි. මෙම බොක්ස් මොඩල් නිවාසද තනි පලයක් ලෙසින් ඉහළ මහලය සඳහා වහලය සකස් කිරීමෙන් එම නිවාස අක්‍රීය තත්ත්වයට පත්වේ. කලින් පෙන්වා දුන් අහිතරකර හේතුන්ට ඍජුව මුහුණදීමට සිදුවේ. එපමණක් නොව මෙම තනි පල වෙළඳසල් ඉක්මනින්ම පාළුවට පත්වේ. එසේ නොවුණත් මෙවැනි නිවාසවල ජීවත්වන අයට සිදුවන්නේ මළ ජීවිත ගත කිරීමටයි.

දැන් බොහෝදෙනෙකු සිතයි ඔය මොකුත් වෙන්නේ නෑ උඩ තට්ටුව සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් ස්ලැබ් එක දමාගත්තාම යනුවෙන් කියා. නමුත් වහලයකින් වහලයේ දැවවලින් නිවැරදිව තබන ලද මුදුන් යටලී, සෙසු යටලී, බාල්ක තුළින් ලැබෙන්නා වූ ශුභ ශක්තීන් විශ්ව ශක්තීන් නිවසේ ජීව ගුණය නිවැසියන්ගේ පෞරුෂත්වය විශේෂයෙන් ගෘහ හිමියාගේ බලය රැකගැනීමටත් පෞරුෂත්වයෙන් පිරිපුන් හස්තිරාජයකු ලෙස බැබලීමටත්, නිවසක වහලයට දැව නිවැරදිව යොදා වාස්තු විද්‍යාත්මකව ඉදිකළ යුතුයි. එසේ නොකර කොන්ක්‍රීට් වහල ඉදිකරන නිවාසවල ගෘහහිමියා දළ නැති හස්තියෙකු මෙනි. ඔහුගේ අණසක, බලය, කීර්තිය පහළ බසින අතර එම නිවසේ වැඩි බලයක් හිමිවන්නේ බිරිඳටයි. වහලයකට ප්‍රථමයෙන් තබනු ලබන්නේ බිත්ති යටලීයකි. මුදුන් යටලීය තැබීම දෙවනුවට කරයි. එයට ප්‍රධාන හේතුව වන්නේ තබන යටලී මොනමාකාරයකින්වත් යළි එසවීමට වෙනස් කිරීමට නොහැකි නිසාය. යටලීය තබනු ලබන්නේ බොහෝවිට ඉරිදා දිනයක හෙවත් රිවි දිනක රවීගේ නැකතකින්ය. මේ සඳහා කෝණ මාස යොදා නොගනී. තත්කාල හෝරාවද චර රාශි වන මේෂ, මකර, තුලා, කටක රාශි අත්හල යුතුයි.

මුදුන් යටලීය සඳහා තනි මූට්ටුවක් දමන්නේ නැත. එය මූට්ටු 02ක් 04ක් වශයෙන් ඉරට්ටේ සංඛ්‍යාවකින් තබන අතර මුදුන්ලීය සඳහා එකම දැව වර්ගයක් භාවිතා කළ යුතුයි. එසේ නොමැතිව වෘක්ෂ කීපයක දැව වර්ග එකතු කර මූට්ටු නොකරයි. මේ මුදුන් යටලීය ඇතුළු සෙසු යට ලී සඳහා පුරාණයේ පටන්ම මූට්ටුව දමන්නේ කිඹුල් තල්ල මූට්ටුව වන අතර ඒ සඳහා යොදා ගැනෙන්නේද ලී ඇණයකි. මුදුන් යටලීයට කෙළවර යකඩ ඇණ ගැසීමද නොකළ යුතුයි. වහලයේ නූල් ඇදීමේදී පවා මුදුන් යටලීයේ කෙළවරවල් දෙකේ සිරස්ව, තිරස්ව මෙසේ යකඩ ඇණ ගසා පවතී නම් ඒවා ශුභ වේලාවක් බලා ඉවත් කළ යුතුයි.

මුදුන් යටලීය සම්බන්ධයෙන් කතා කිරීමේදී නිවසේ මුදුන් යටලීයට ඍජුව වැටෙන ආකාරයට නිවසේ බ්‍රහ්ම පාද ලක්ෂය නොවැටිය යුතුයි. සමහරවිට බ්‍රහ්ම පාද ලක්ෂය ඍජුව වැටී ඒ මතට මුදුන් ලීයේ මූට්ටුවක් වැටී ඇතිනම් නිවසේ ගෘහ හිමියාට එය ඉතා අශුභ වේ. විපත්වලට හේතු දේ. තවද නිවසක මුදුන් යටලීය, සෙසු යටලීද, ළිඳට, වැසිකිළිවළට ඍජුව වැටීමද අශුභ වේ. මුදුන් යටලීයේ හරි මැදට පරාල වැටීම සිදුව ඇත්නම් එයද ශුභ නොවේ. තවද මුදුන් යටලීයට තනි කුරුපාවක් පැවතීමද ශුභ නොවේ.

යාබද නිවසේ මුදුන් යටලීය කෙළින්ම තමන්ගේ නිවසේ මුදුන් යටලීය පැවතීමද අශුභයි. පල දෙකට වහලය ගැසීමේදී සෑමවිටම මුදුන් යටලීය නිවසේ පළල 2කට බෙදා නොගත යුතුයි. දෙකට බෙදීමේදී පළල අඩි 30ක නිවසක් නම් එක් කොටසක් අඩි 15ක් ලෙස ගණනය කර හරි මැදින් මුදුන් යටලීය දැමීම නිසා මා කලින් ප්‍රකාශ කළ ආකාරයට බ්‍රහ්මපාද ලක්ෂයට හසුවනු ඇත. පල දෙක සහිත කඩ කාමරද වහල ගැසීමේදී මේ වරද කිරීම නිසා පල 02ක් වුවද එම වෙළඳසැලද වැසී යයි. වහලය ගැසීමේදී තනි පලයට වහලය ගැසීම පිටතින් සාදන ගරාජ කාමරය එනම් මෝටර් රථ දැමීමට සාදන ගොඩනැඟිල්ල ඉදිකිරීම අශුභ නොවේ. එමගින් එම මෝටර් රථයට මුදුන් යටලීය මැදට වැටීම සිදුනොවෙනු ඇත. අන් සෑම ගොඩනැඟිල්ලකටම තනි පල ආකාරයේ වහල ගැසීම එම ගොඩනැඟිල්ලම අක්‍රිය දුර්වලතාවයකට පත්කරගැනීමක් වේ.

හිස නැති ගෙවල් හදා දුකට පත්වෙන්න එපා

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති, වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment