ළමා අපහරණය සහ සමාජ වගකීම (මෙහෙමත් ළමයින්ට ගහන්න මේ ගෑනිට පිස්සුද?)

472

2024 ජුනි මස 02 වැනිදා ඉරිදා

මනුෂ්‍යයා මේ තත්ත්වයට පත්වීමට පෙර එනම් මීට අවුරුදු හාරපන්දහසකට පෙර දී පවා අන්ත අධම නීච තිරිසනෙක් ලෙස කල් ගත කළේය. තිරිසනා මනුෂ්‍යයකු වන්නේ පරිණාමය සහ ආහාර මතය. කොටියා අමු මස් කයි. මිනිසා මස් උයාගෙන කයි. වඳුරා සියලු එළවළු වර්ග සහ පලතුරු වර්ග අමුවෙන් කයි. මිනිසා ඒවා පිසගෙන අනුභව කරයි. තිරිසන් වානරයා විසින් ආහාර පිස ආහාරයට ගැනීම පුරුදු වූදා සිට විශාල පෙරළියක් සිදු විය. එනම් ටිකෙන් ටික උගේ තිරිසන් ගති පහවී යෑමය. එහෙත් අද වනතුරු තිරිසනාගේ ශේෂයක් මනුෂ්‍ය ශරීරය තුළ තැන්පත්ව තිබේ. අද අප කතා කරන්නේ මනුෂ්‍ය දුවකගේ සිරුර තුළ සැඟව සිටි තිරිසනකු ගැනය. ඒ මෙසේය.

යාපනයේ වෘර්කාවතුරේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ පාලිකාව එහි සිටින සිසුවියන් 11 දෙනකුට ඉතා බිහිසුණු ලෙස පහර දී ඇත. මේ පහරදීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවීම නිසා සිසුවියන් 11 දෙනකු නේවාසිකාගාරයෙන් පැනවිත් පොලිසියට භාරවී තිබේ. ඒ අනුව පොලිසිය විසින් නේවාසිකාගාර පාලිකාව අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය කියන පරිදි සිසුවියන් 11 දෙනා එහි එන අවස්ථාවේදී කතා කර ගැනීමටවත් නොහැකි වන පරිදි ගුටිකා සිටියහ. පසුව එම සිසුවියන් යාපනයේ ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අපගේ වැටහීමට අනුව ඉහත සඳහන් නේවාසිකාගාර පාලිකාව එක්කෝ උමතු කාන්තාවකි. උන්මත්තකයා තමන් කරන ක්‍රියාවේ දිගක් පළලක් නොදනී. ඒ අනුව සිත්සේ හැසිරීමට උන්මත්තකයාට පුළුවන. හැබැයි එක් අවස්ථාවකදී සමාජය විසින් පෙරළා උන්මත්තකයාට පහරදීමට පටන්ගනී. මෙන්න මෙතැනදී ඔහු හෝ ඇයගේ ජීවිතය කෙළවර වීමට පුළුවන. අපගේ අනෙක් වැටහීම වන්නේ ඉහත සඳහන් කාන්තාව පරපීඩක කාන්තාවක් බවය. පරපීඩකත්වය යනු උමතුභාවයටත් වඩා දරුණු මානසික මට්ටමකි. මේ මානසික මට්ටම තුළදී පරපීඩකයා විසින් කරනු ලබන්නේ සෙසු අයට රිදවා ලිංගික තෘප්තියක් ලබාගැනීමය. පරපීඩා කාමුකත්වය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Sadism ලෙසය. මෙයට කලකට පෙර මාර්ස්විස් ඩි සේඩ් නමැති ග්‍රන්ථ කර්තෘවරයකු ප්‍රංශයේ ජීවත් විය. ඔහු ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා කාන්තාවන්ට ශාරීරික වධ බන්ධන දෙන ලදැයි කියනු ලැබේ. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේදී ඔහුගේ ක්‍රියාකලාපය හැඳින්වීම සඳහා වචනයක් අවශ්‍ය විය. අවසානයේදී සේඩ්ගේ නමින් සේඩිසම් යන වචනය ඉදිරිපත් කරන ලදි. සේඩ්ගේ වර්ගයේ මිනිසුන් සහ ගැහැනුන් සමාජය තුළ ඕනෑ තරම් වෙසෙති. මේ අය හඳුනා ගැනීම මුලදී දුෂ්කරය. පසුව ඔවුන් හඳුනාගත හැකිය. යාපනයේ පාසලේ බාලිකා නිවාස පාලිකාව අප පෙර කී කාණ්ඩ දෙකෙන් කවර වර්ගයට අයත් ද යන්න සොයාගත යුතුය. ඉන්පසු ඇය උපරිම ප්‍රතිකාර සහිතව දඬුවමට යටත් කළ යුතුය.

ශ්‍රී ලංකාව අවුරුදු 2500ක ඉතිහාසය සහ සංස්කෘතික වටිනාකම් ගැන කොපමණ කයිය ගැසුවද දරුවන්ට සහ කාන්තාවන්ට අපමණ වධ දෙන මිනිසුන් සිටින රටකි. පියා විසින් පහර දෙනු ලැබීම නිසා මියගිය දරුවන් කිහිප දෙනකු ගැන අපි පසුගිය කාලයේදී ජනමාධ්‍ය වෙතින් දැනගතිමු. එමතු ද නොව ඇතැම් නීච පියවරු විදේශගතව සිටින සිය බිරිඳගෙන් මුදල් ලබාගැනීම සඳහා දරුවන්ට වධ දී වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහළ අවස්ථා තිබේ. තම දරුවා විඳින දුක දකින මව සැමියාට වහා මුදල් එවයි. මෙවැනි දේ අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධියට පත්වූ වහාම ක්‍රියාත්මක වන පොලිසිය අපරාධකරු අල්ලා නියමිත දඬුවම් සඳහා යොමු කරයි. එහෙත් ඒ ආකාරයෙන් හෙළිදරව් නොවී රහසේ සිදුවන ළමා හා කාන්තා අපරාධ ඕනෑ තරම් ලංකාවේ තිබේ. ඇතැම් අවස්ථාවලදී පවුලේ කුණු එළියට දැමීමට නොකැමැති අය එවැනි අපරාධ පවුල තුළම සඟවාගෙන සිටිති. ඇතැම් තාත්තලා දරුවන්ට වස දී මරා තමන් ද සියදිවි නසාගත් අවස්ථා තිබේ. ඒ අතර තවත් සමහර මවුවරු දරුවන් තුරුලු කරගෙන ගංගා හෝ ළිංවලට පනිති. මේ සියල්ලෙන්ම සිදුවන්නේ බාලවයස්කාර දරුවන් අපහරණයට ලක්වීමය. මේවා මැඬපැවැත්වීම සඳහා වහාම ක්‍රියාත්මක වීමේ ක්‍රියාදාමයක් පොලිසිය සතුව තිබිය යුතුය. දැනට මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ළමා හා කාන්තා කාර්යාංශය හරහා හැකි උපරිම පියවර ගනිමින් දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අසාධාරණ අවම කර ගැනීමට උත්සාහ කරයි. යාපනයේ පාසලේ නේවාසිකාගාර පාලිකාව වැනි අය හඳුනාගත් විට ඔවුන් කෙරෙහි දිගටම ඇස ගසාගෙන සිටීම සමාජයේ ද වගකීම බව මතක් කර දෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment