ළාබාල දැරියක රවටා ගෙන ආ සාරවිටකරු පොලිස් දැලේ

2

අනුරාධපුර පුරවර උදානය පොසොන් සැණකෙළි භූමියේ මීට දින 5කට පෙර අතුරුදන් වූ 12 හැවිරිදි පාසල් දැරිය මීගොඩ ප්‍රදේශයේ නිවසකින් හමුවූ බවත්, එම බාල වයස්කාර දැරිය රැගෙන ගිය 16 හැවිරිදි පාසල් වයසේ පසුවන සැකකරුගේ එම නිවසේ අඹුකමට තබා ගෙන සිටි 21 හැවිරිදි තවත් කාන්තාවක් ද හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා 12 හැවිරිදි එම දැරිය, ඇය රවටා රැගෙන ගිය 16 හැවිරිදි සැකකරු, එම සැකකරුගේ නිවසේ සිටි 21ක් හැවිරිදි තරුණිය, තම භාරයට ගෙන අනුරාධපුරයට රැගෙන ආ බව පොලිසිය කියයි.

මෙම දැරියගේ මව, සහ මවගේ සහෝදරයකු සැණකෙළි භූමිය අසල වෙළෙඳ සැලක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම දැරියගේ පියා විදේශ ගතව සිටින බව පොලිසිය පවසයි.

එම දැරිය සැණකෙළි භූමියේ පැවැත්වෙන සංගීත සන්දර්ශනයේ නර්තනයේ යෙදීමට අවශ්‍ය යැයි මවට පවසා, මව අවසර ලබාදීමෙන් අනතුරුව, නටමින් සිටියදී සැණකෙළි භූමියේදී හිතවත් වූ සාරවිට විකුණන තරුණයකු සමග, බස් රථයක නැඟී මීගොඩ ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

නර්තනයේ යෙදීමට ගිය තම දැරිය අතුරුදන්ව ඇති බවට එම දැරියගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව දින 5කට ආසන්න කාලයක් එම දැරිය සෙවීමේ කටයුතුවල නිරතව සිටිය දී එම දැරිය මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සිටිය දී මෙලෙස සොයාගත් බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් සිදු කළ විමර්ශනයක දී දැරිය රවටා රැගෙනා එම 16 හැවිරිදි සැකකරු එම නිවසේ 21 හැවිරිදි කාන්තාවක් ද අඹුකමට තබා ගෙන සිටි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

අතුරුදහන් වූ දැරිය සොයාගැනීම සඳහා පොලිසිය කණ්ඩායම් කීපයක් එක්ක දීර්ඝ විමර්ශනයක් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී උසස් නිලධාරියකු පැවසුවේ දෙමාපියන් දරුවන් පිළිබඳව මීට වඩා දැඩි සැලකිල්ලෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සහ සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර 12 හැවිරිදි බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇති බවද පොලිසිය කියයි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතා, ළමා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment