දැඩි කොන්දේසි මත කොළඹ උසාවියෙන් චාමරට ඇප

48

ඌව පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකාර ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (08 වැනිදා) නියෝග කළාය.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන බොහෝ දුරට අවසන් කොට ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දුන් අතර එම සැකකරුට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීම සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය. ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහළ සැකකාර, චාමර සම්පත් දසනායක මහතාට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද පැනවූවාය.

ඇප ලබාගැනීමෙන් පසුව විමර්ශනවලට බාධාවක් හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කළාය.

කෙසේ නමුත් එම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙරේදා (07දා) නියෝග කොට තිබීම නිසා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එලෙස ඇප මත මුදාහළත් ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවේ.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2016 වසරේදී එක්තරා රාජ්‍ය බැංකුවක පළාත් සභාව විසින් ආරම්භ කොට තිබූ ස්ථාවර ගිණුම් හයක් කල්පිරීමට පෙර ඉවත් කිරීම මගින් පළාත් සභාවට එලෙස රුපියල් ලක්ෂ 173ක් පාඩු කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව ඔහු ඊයේ (08දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment