සිංහල පමණයි අධ්‍යාපනයෙන් පාසල් දරුවන්ගේ අනාගතය අඳුරු වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

139

මේ රටේ ඉංග්‍රිසි භාෂාව ඉහළ තලයකට ගෙන ඒමට සමගි ජනබලවේගය රජයක් යටතේ අපි මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා.සිංහල පමණයි කියලා මේ රටේ ක්‍රියාත්මක වුණු යල් පැනගිය අධ්‍යාපන ක්‍රමය නිසා වසරක් වසරක් පාසා 43 ලක්ෂයක් පමණ වූ පාසැල් දරුවන්ගේ අනාගතයට දැඩි බාධා අවහිරකම් ඇති වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසුවේ ජාඇල මැතිවරණ කොට්ඨාසයේ සමගි ජනබල ආසන බලමණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව පෙරේදා (19) සවස ජාඇල කපුවත්තේ පැවති ජන හමුවකදීය. මෙම ජනහමුව ජාඇල ආසනයේ සමගි ජනබල වේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ශිරන්ත අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

ඉංග්‍රිසි භාෂා විද්‍යාගාර, ජත්‍යන්තර භාෂා විද්‍යාගාර දිවයිනේ සෑම පාසලකම ස්ථාපනය කිරීමත් ලොව දිනවන දරු පරපුරක් මෙන්ම උගත් බුද්ධිමත් ජන සමාජයක් මේ රටේ බිහිකිරීම සමගි ජනබල වේගයේ අරමුණයි. පාසැල් දරුවන්ගේ අනාගතට මග අහුරවමින් මේ රටේ ක්‍රියාත්මක වන යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ජත්‍යාන්තර ශ්‍රම වෙළෙඳ පොළට උචිත නව අධ්‍යාපන ක්‍රමයක් අපි මේ රටේ දියත් කරනවා. ඉදිරියේදී පැවත්වෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබල වේගය යටතේ තරග කිරීමට අපේක්ෂත්වය ලබා දෙන්නේ ප්‍රතිපත්ති ගරුක ශිෂ්ඨ සම්පන්න විනය ගරුක පිරිසකට පමණයි. තම පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් එන අවස්ථාවාදී දේශපාලනයට අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. තවමත් එක ස්ථාවරයක නොමැතිව එහාට මෙහාට වැනෙමින් සිටින පිරිසට කියන්නේ ඔබලා දැනටමත් ප්‍රමාදයි. දැන්වත් සමගි ජනබල වේගයේ බස් එකට නගින්න කියලයි. මේ රටේ කෝටිපතියන්ට ධනවතුන්ට රටේ පාලනය තුළ ලොකු හිතවත්කමක් සහයෝගයක් තියෙනවා. රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් අමතක කර ඔවුන්ට කිසිම සහනයක් ලබා නොදී මේ රජය ඔවුන් දවසින් දවස පීඩාවෙන් පිඩාට පත්කර ගෙන යනවා. අපේ රජයක් යටතේ ඔවුන් සහන ලබාදීමට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

රටේ ජනතාව එක්රොක්වී මේ රටේ හිටපු ජනපති, අගමැති, මුදල් ඇමැති එළවලා දැම්මා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ජනතාව විසින් එළවලා දාපු ඒ කණ්ඩායම තම හෙන්චයියල සමග එකතුවෙලා රට රකින නොව තමන්ව රකින ඡනාධිපතිවරයෙකු පත්කර ගෙන තියනවා. අපේ රජයක් යටතේ මේ රටේ ජාතික ධනය කොල්ල කාපු හොරු රැල නීතිය ඉදිරියට ගෙනත් ඔවුන්ට දඬුවම් ලබාදෙනව පමණක් නොවෙයි ඔවුන් හොරාකෑ ජාතික ධනය යළි රටට ලබාදීමටත් අපි කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා

අද සමගි ජනබල වේගය වටා ජනතාව රොද බැඳ ගෙන ඒකාරාශි වෙනවා. මේ රටේ කිසිවෙකු නොසිතූ අයුරින් රාජපක්ෂලා දේශපාලන වශයෙන් අනාත භාවයට පත්වෙලා ඉන්නවා. ජනතාව සැමදාම සැමවිටම බොරුවෙන් රවට්ටන්න බැහැ. රාජපක්ෂලා මේ රටේ බලය අල්ලා ගත්තේ බොරුවෙන් වංචාවෙන්. ඔවුන් මේ රටේ බොරුව වංචාව දූෂණය වැපුරුවා. ඔවුන් බලය ගත්තේ හොරු අල්ලනවා කියලයි. නමුත් වුණේ ඔවුන් සමග එකතුවී හොරු ආණ්ඩුව අල්ලාගත් එක පමණයි.

මෙම ජනහමුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එස්.එම්. මරික්කාර්, ඉමිතියාස් බකීර් මාකර්, ජාඇල ආසනයේ සමගිජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ශිරන්ත අමරසේකර, ජාඇල නගර සභාවේ හිටපු උප සභාපති රුවින්ද අබේරත්න, ජාඇල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අතුල ජයවර්ධන යන මහත්වරුද කතා කළහ. මෙම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා සහ හිටපු මන්ත්‍රී විජිත් විජිතමුණ සොයිසා යන අයද සහභාගි වී සිටියහ.

බීටීකේ – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment