මහින්දාගමනය අනුස්මරණය කිරීම සමාජ විඥ්ඥානයේ අක්මුල් සිහිපත් කිරීමක් -මල්වතු මහ නාහිමි

118

වර්තමානය වන විට රටේ උද්ගතව ඇති විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රවණතා හේතුවෙන් අද්‍යතන සමාජයේ තරුණ මෙන් ම වැඩිහිටි පාර්ශ්වය ද බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ වටිනාකම වටහා ගැනීමට අපොහොසත්ව ඇතැයි සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පවසති.

මෙවර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් මහානාහිමියෝ මේ බව ප්‍රකාශ කරති. එම පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ ආගමනය සිහිපත් කරන පොසොන් පොහෝ දිනය සමස්ත ලංකාවාසීන්ගේ සදානුස්මරණීය දිනය යි. ශ්‍රී ලංකා ද්වීපය ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කළ මෙම ඓතිහාසික සංසිද්ධිය ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික, දේශපාලනික වටිනාකම් නවමු දාර්ශනික මං පෙතකට යොමු කිරීමට හේතු විය. මෙම සංස්කෘතික පරිවර්තනයේ අග්‍ර ප්‍රතිඵලය වූයේ ධර්මාචර්ත චර්යාවෙන් පිරිපුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සංස්ථාපනය යි.

වර්තමානය වන විට රටේ උද්ගතව ඇති විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රවණතා හේතුවෙන් අද්‍යතන සමාජයේ තරුණ මෙන් ම වැඩිහිටි පාර්ශ්වය ද බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ වටිනාකම වටහා ගැනීමට අපොහොසත්ව ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලක්දිව තුළ ප්‍රථමයෙන් ම දේශනා කරන්නට යෙදුණු චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ අන්තර්ගත සුවිශේෂි ධර්මම ය ප්‍රස්තුතයන් ගේ වටිනාකම මෙවන් මොහොතක අධිඅවධාරණයකට ලක් කිරීම කාලීන අවශ්‍යතාවකි.

මහින්දාගමනය අනුස්මරණය කිරීම යනු ඓතිහාසික සංසිද්ධියක් සිහිපත් කිරීමෙන් ඔබ්බට ගිය ලාංකීය සමාජ විඥ්ඥානයේ අක්මුල් පිළිබඳ නැවත නැවත සිහිපත් කරලීමක් මෙන්ම බෞද්ධ ආචාරධර්මයන්ගෙන් ශික්ෂිත උතුම් මානව ගුණධර්මයන්ගෙන් සුපෝෂිත සමාජයක් බිහි කරලීමේ අභිලාෂය නැවත නැවත තහවුරු කරන්නක් බව මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමු.

එහෙයින් අකුසලං පජහති කුසලං භාවෙති, සවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති සුද්ධං අත්තානං පරිහරති යන සම්බුද්ධෝපදේශය මත පිහිටා අකුසලයෙන් දුරුව කුසලයෙහි යෙදෙමින් අර්ථ අනර්ථ පිළිබඳ මනා අවබෝධයෙන් ස්වකීය ආධ්‍යාත්මක පාරිශුද්ධත්වය විෂයෙහි ලා ආමිස – ප්‍රතිපත්ති පූජාවන් ගේ යෙදෙමින් කටයුතු කිරීමට සියල්ලෝම අධිෂ්ඨානයෙන් යුක්ත විය යුතු බවත් තථාගත දහමට අනුව යථාර්ථවාදී නුවණින් යුතුව සියලු සත්ත්වයා වෙත මෙත්සිත් පෙරටුව කටයුතු කිරීම මහින්දාගමනය අර්ථාන්විතව ස්මරණය කිරීම බවත් මෙහිලා ප්‍රකාශ කරමු කැමැත්තෙමු.

රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ලෝවැසි සැමට නිදුක් නිරෝගි සම්පත්තිය උදාවේවායි ආශිංසනය කරම්හ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment