අපේ ජනබල පක්ෂයේ සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට ඉන්දියාවේදී ඇල්ලූ අය ගැන දැනුම්දීමක් නැහැ

74

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් පස් දෙනකු තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට කිසිදු ලිඛිත දැනුම්දීමක් මේ වනතුරු තමන් වෙත ලැබී නැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නම් ජාත්‍යන්තර පොලිසිය හරහා තම දෙපාර්තමේන්තුව වෙත දැනුම්දෙන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයිනට’ පැවසීය.

එහෙත් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පැවසුවේ තංගල්ල පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු සහ ඝාතකයන් පැමිණි ජීප් රථය පැදවූ අපරාධකරු මේ ආකාරයට ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටින බවයි.

මෙම පංච පුද්ගල ඝාතනය සිදු කළ ‘චූටියා’ නමැති සැකකරු යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකි.

සැකකරුවන් පැමිණි ජීප් රථය පැදවූ සමන් කුමාර නමැත්තා යුද හමුදාවේ හිටපු මේජර්වරයකු බවත්, මෙම පංච පුද්ගල ඝාතනයෙන් පසු මොවුන් දෙදෙනාම මුහුදු මාර්ගයෙන් පලාගිය බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සහාය වූ පුද්ගලයන් 11 දෙනකු මේ වනවිට බන්ධනාගාර ගත කර සිටී.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ නියෝග මත මෙම පංච පුද්ගල ඝාතන සිදුකළ බව මේ වන විට අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment