අමනුෂ්‍ය දෝෂ ඇති කර නිවසේ දුර්ගඳය

1350

පසුගිය වසරේ හරියටම මැයි මාසයේදී ඉතා තදාසන්න නගරයකට නවීන පන්නයට ඉදිකළ දෙමහල් නිවසක් පරීක්‍ෂාව සඳහා සහභාගි වන්නට මට අවස්ථාවක් ලැබුණා. ඒ මාස ගණනක සිට එම නිවසේ හිමිකරුගේ බිරිඳ අවස්ථා කීපයකදී මාහට දුරකථනයෙන් කතා කරමින් පවසන ලද්දේ තමුන් එම නිවසට පැමිණි දා සිට එනම් නිවසෙහි පදිංචි වී වසරක් ඉක්ම යන්නට පෙර ඉතා සාර්ථකව කරගෙන ආ තමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින පරිහානියට පත් වෙමින් මේ වනවිට රුපියල් කෝටියක් පමණ නැතිවී ගොස් තමන් සතු මෝටර් රථ 2න් එක මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්ව පැත්තකට දමා ඇති අතර, එය සාදා ගැනීම පවා එම මොහොත වනවිට එම වියදම දැරීම පවා අපහසු වී ඇති බවයි. නිවසේ රාත්‍රියට නොයෙක් ශබ්ද පවා ඇසෙන බවත් නිතරම පවුලේ දරුවන් හා තමා රෝගී වන බවත් මෙය නිවසේ දෝෂයක් බව ඇයට වැටහෙන බවත් මාගේ වාස්තු ලිපි ද ඇය කියවන බව මාහට පවසන ලද අතර ගැටලුව වී තිබෙන්නේ මේ කිසිවක් ඇගේ ස්වාමි පුරුෂයා පිළිනොගැනීමයි. එය සත්‍යයකි.

නිවෙස්වල පවතින වාස්තු දෝෂ බලාගැනීමට එයට සිතක් පහල වීමට ද යමෙකු සතු පුණ්‍ය ශක්තියක් තිබිය යුතුය. එසේ නොමැතිවිට නිවාස පරීක්‍ෂාවටවත් පරීක්‍ෂා කළ ද තිබෙන දෝෂයන් ඉවත් කර ගැනීමටත් නොහැකිව ජීවිත කාලය පුරාවට විඳවීමට සිදුවේ. ඒ වගේම නිවෙස්වල වෙසෙන නොපෙනෙන බලවේග අමනුෂ්‍ය දෝෂ, ප්‍රේත බලවේග, වාස්තු දෝෂ පවතින නිවෙස්වල සැරිසරයි. සියලු පහසුකම් ඔවුන්ට හිමිවන නිසා ඔවුන් එම නිවසේ ගැටුම්, ප්‍රශ්න, රෝග පතුරවමින් ජීවත් වේ. මෙවැනි නිවසක අනිවාර්යෙන් වාස්තු දෝෂයන් ප්‍රභලව පවතින නිසා අමනුෂ්‍යයන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් පවතී. යම් හෙයකින් මෙම නිවස පරීක්‍ෂා කර දෝෂ නිවැරදි කළහොත් මෙම අමුනුෂ්‍යයන්ට ඉවත්වීමට සිදුවේ. අමනුෂ්‍යයන් ඇසට නොපෙනෙන වුවත් එක් කොටසකට ඕනෑම දෙයක් ස්පර්ශ කිරීමට හැකිවේ. තවත් කොටසකට මනුෂ්‍ය ශරීරයට රිංගීමට මනස පාලනය කිරීමට හැකියාව පවතී. තවත් අය නිවසේ අඳුරු ස්ථානවල පදිංචි වී නිවැසියන්ට පීඩා දේ.

තමුන් වෙසෙන නිවස නිවාස පරීක්‍ෂාවට සූදානම් වීමේදී එම අමනුෂ්‍ය කොටස් කලබලයට පත්වේ. නිවසේ වෙසෙන දුර්වල ශරීරය හිමි අයට ඒ අයගේ මනසට නිවාස පරීක්‍ෂාව එපා කරවයි. තරහ ඇති කරයි. එය කරගන්නට බැරි වූවිට නිවස පරීක්‍ෂා කිරීමෙන් පසුව එය නිදොස් කිරීමට ඉඩ නොදේ. බාධා ගෙන දේ. මුදල් හිඟකම් ඇති කිරීමට තරම් ඔවුන්ට හැකියාව පවතී. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මෑතදී මා විසින් එක්තරා නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි විශාල දෝෂයක් පැවැති අතර අමනුෂ්‍යයන්ට එම නිවස මනුෂ්‍යයන්ට වඩා සුදුසු බව නිවාස පරීක්‍ෂා කරගෙන යෑමේදී මා ප්‍රකාශයට පත් කළ අතර නිවෙස් හිමියන්ද ඒ බව සනාථ කරන බොහෝ දේ මාහට පැවැසීය. කෙසේ හෝ එම නිවසේ පවතින දෝෂ ඉවත් කිරීමට දින කීපයකට පසු මාගේ සේවාදායකයා හා බිරිඳ බැංකුවෙන් මුදල් රැගෙනැවිත් නිවසේ රහස් ස්ථානයක තබා පසුදා බලනවිට එම මුදල් අතුරුදන් වී ඇත. ගත් කෙනෙකුද නැත. නිරීක්‍ෂණ කැමරාවලින් පවා පරීක්‍ෂා කළ ද කිසිවකු නිවසට පැමිණ නැත. එමනිසා දැනට නිවස පරීක්‍ෂා කර මාස 05ක් පමණ වුවද අරමුදල නොමැතිකමින් කිසිවක් කර ගැනීමට නොහැකි විය.

මා යළි මගේ මාතෘකාවට එන්නම්. කෙසේ හෝ මා කලින් කී ව්‍යාපාරිකයාගේ බිරිඳ තවත් දිනයක මා හට ඇමතුමක් දී පැවැසුවේ ඇයගේ නිවස පරීක්‍ෂා කර ගැනීමට ඇගේ මහත්තයා කැමති බවත් ඉක්මන් දිනයක් ඒ සඳහා ලබාදෙන මෙන්ය. කෙසේ හෝ නියමිත දිනයට එම නිවස වෙත මා ළඟාවූ අතර ඉදිරිපස දොරේ සීනුව නාද කළ සැනෙන් නිවසේ ගෘහ හිමියා හා බිරිඳ පැමිණ දොර විවෘත කරනවාත් සමග මහා අප්‍රසන්න දුර්ගන්ධයක් පැමිණියේය. නිවසේ දළ සටහන නිර්මාණය කරන්න මැනුම් කටයුතු කිරීමට ගිය මොහොතේ සිට මාගේ හිසරදය, කැරකිලි ගතිය තදබලව දැනුන අතර එය නිවසක පරීක්‍ෂාවේදී ලැබෙන අමනුෂ්‍ය දෝෂ සම්බන්ධයෙන් එන සංඥාවකි.

නිවස පරීක්‍ෂාවේදී මෙම නිවසේ බ්‍රහ්මපාද ලක්ෂ්‍ය ඍජුවම පිහිටා තිබුණේ නිවසේ නාන කාමරය ඇතුළේය. යම් නිවසක බ්‍රහ්මපාද ලක්ෂ්‍ය එවැනි ස්ථානයක වැටීම නිසා එම නිවසේ සියල්ල විනාශ මුඛයට පත්වේ. එවැනි නිවාසවල දියුණුව ඇන හිටී. ධනය විනාශ වේ. සියල්ල අහිමිව මහ පාරට වැටෙන තත්ත්වයට පත්වේ. ණය ලීසිං ගෙවා ගැනීමට නොහැකි වේ. අමනුෂ්‍යයන්ගෙන් පිරි රාජධානියක් මේ නිවස තුළ නිර්මාණය වේ. කළයුතු ක්‍රියාමාර්ග අතර වැසිකිළියේ පවතින බ්‍රහ්ම පාද ලක්‍ෂය පිටතට සාලය දෙසට පතිත වන ආකාරයට වෙනස් කිරීම් කරන ලද අතර එයට පසුව මාසයක් ගත වීමටත් පෙර ඔවුන්ගේ ජීවිත වෙනසකට යොමුව ඉතා සාර්ථකත්වයට පත්වන ලදී.

මේ කතාව සමඟින් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ යම් නිවසක නාන කාමරය හා වැසිකිළිවල ක්‍රමවත්ව නිවැරදිව නිවැරදි දිශාවට දමා නොමැති නම් එම නිවසේ දියුණුව ඇනහිටිනු ඇත. මා කී එම නිවසේ නානකාමරය නිවස මැද ඉදිකිරීම නිසා බ්‍රහ්මපාදය පීඩාවට පත්වීම හා අපිරිසිදු ස්ථානයක පැවතීම නිසා අමනුෂ්‍ය ආකර්ෂණයද ඒ වගේම නිවසේ දුර්ගන්ධය ද පවතී. දුර්ගන්ධය නිසා අමනුෂ්‍ය ආකර්ෂණය වර්ධනය වේ. මේ නිසා වැසිකිළි වළට උස බටයක් දමා වැසිකිළි වළේ ඇතිවන වායුව පිටතට ඒමට සැලැස්විය යුතුය. එසේ නොකිරීමෙන් එම ගෑස් පිටවීම වළ තුළින් වැසිකිළි පෝච්චිය හෙවත් කොමඩ් එක මඟින් පිටවීමෙන් නිවසේ දුර්ගන්ධය ඇති කරයි. එම දුර්ගන්ධය ද නානකාමරය නිවැරදි දිශාවක පැවැතිය ද නිවස අක්‍රිය වීමට අමනුෂ්‍ය ආකර්ෂණයට හේතුවක් වනු ඇත.

නිවස ඇතුළත මුළුතැන් ගෙයද සමහර නිවෙස්වල දුර්ගන්ධයට හේතු වේ. පිළුණු ආහාර ගොඩගසා පැවතීම, දින කීපයකින් ඉවුම් පිහුම් කළ භාජන පිරිසිදු නොකිරීම, ශීතකරණයේ කාර්මික දෝෂයන් නිසා ආහාර පාන, මස්, මාළු නරක් වීම නිසා කුස්සියද වැසිකිළියේ ස්වභාවය ගනී. දුර්ගන්ධය හැමීම නිසා එයට ලොල් වන අමනුෂ්‍ය කොට්ඨාස සංක්‍රමණය වේ. සමහර නිවෙස් ඉදිරිපිට පවතින මඩ ගොහොරු කුණු ගොඩවල්, සතුන්ගේ මඩු කූඩාරම් නිවාස සමීපයේ පැවැතීම නිසා නිවසත් නිවාස අවටත් දුර්ගන්ධය ඇති කරයි. මැස්සන් මදුරුවන් බෝවීම තුළින් එම නිවෙස්වල වෙසෙන අයද රෝගී කරයි. නිතරම නිවාස දුර්ගන්ධයට පත්වේ.

තවත් බොහෝ නිවාසවල ඇති කරන සුරතල් සතුන් නිසාද විශේෂයෙන් සුනඛයන් නිවස ඇතුළටම ගැනීම, ඔවුන් නිවසේ පුටු මත සැටි මත නිදා ගැනීම, ඒවාට මුත්‍රා පහ කිරීම නිසා සමහර ගෙවල්වල සාලයේ දුර්ගන්ධය හමයි. බළලුන් බල්ලන් තුවාල සිදු කරගෙන ඒවායේ දුර්ගන්ධය නිවස ඇතුළත පැතිරේ. එම නිවෙස අක්‍රීය තත්ත්වයට පත් කරයි. මනුෂ්‍යන්ට අප්‍රිය දුර්ගන්ධයන් අමනුෂ්‍යයන්ට සුවඳකි. නිවෙස්වල මිදුල පුරා කෙළ, හොටු දැමීම පෙරේතයන්ට ආහාරයකි. එවැනි නිවෙස්වලට කුමන දියුණුවක්ද දිනෙන් දින පිරිහීම නියතයකි.

නිවාස අසල ආදාහනාගාර, මිනීපෙට්ටි පවතී නම් මළසිරුරු පුළුස්සනවිට දී එම දුර්ගන්ධයන් නිවාස වෙත පැමිණීම ද ප්‍රධාන ද්වාරයට ඍජුව පිහිටන ආකාරයට ආරෝග්‍ය ශාලා, මිනීපිට්ටනි, මළසිරුරු එම්බාම්කරන අවමංග්‍ය ශාලා පැවැතීම නිසා අමනුෂ්‍ය දෝෂයන් නිවෙස් තුළට රිංගා ගනී. මේවා හඳුන්වන්නේ සුසානවේධ දෝෂයන් ලෙසිනි. සුසාන වේධ දෝෂයන් නිසා අමනුෂ්‍ය බලවේග නිවස තුළට රිංගා ගැනීමෙන් නිවැසියන් අතර සතුට, සමඟිය බිඳ දමයි. නිතරම රෝගී තත්ත්වයන්, ධන හානි, සතුරු පීඩා ඇති කරයි. අනතුරු ජීවිත හානි බහුල කරයි.

නිවසේ වැසිකිළිය, වැසිකිළි වළ ඊශාන දිශාවේ පැවැතීමෙන්ද සිදුවන්නේ නිවසට ශුභ ශක්තිය වෙනුවට අශුභ තරංගයන් තුළින් අමනුෂ්‍ය දෝෂ පැමිණීමයි. මේ නිසා ඊශාන විශ්ව ශක්ති රේඛාව දෝෂයට ලක්ව නිවසේ ගෘහ හිමියාගේ බිරිඳගේ හිස ආශ්‍රිතව පිළිකා ගෙඩි තුවාල මානසික ආතතීන් හටගැනීමයි. ශරීරය දුර්වල වේ. නිරිත දිශාවේ වැසිකිළි වළ පැවැතීම ද, වැසිකළිය පැවැතීම ද මේ හා සමාන තත්ත්වයන් ඇති කරයි. අප කොපමණ මුදල් ඉපැයීම් කළ ද ඉතුරුවක් ඇති නොවේ. පවුලේ අසමඟිය වර්ධනය වේ. දරුඵල හීන කරයි. අඹුසැමි භේද ආරවුල් ඇති කරයි. නිවසේ භාණ්ඩාගාරය වැනි ප්‍රධාන නිදන කාමරය පිහිටිය යුතු දිශාව මෙලෙස දුර්ගන්ධය ඇති කරන වැසිකිළි කැසිකිළි ඉදිකිරීමෙන් එහි පාරිශුද්ධ භව භාවය කෙලෙසෙනු ඇත. තවද නිවාසවල කෙරෙන දෙයකි දහඩිය ගඳින් යුක්ත වූ සමහර විට දවස පුරාම හැඳ සිටි ඇඳුම් සාලයේ සැටිමත, පුටුමත, කාමරවල ඇඳක් උඩ ගොඩගසා පැවතීම. මෙලෙස පැවතීම තුළින් ඒවායෙන් නිකුත් වන දුර්ගන්ධයන්ට ප්‍රිය කරන ප්‍රේත කොටස් ඒවා ආහාරයට ගැනීමට පැමිණීමෙන් එම නිවාස හා ඒ අවට කෙලෙසා ගැනීමයි. වැසිකිළි වළට හිරු එළිය නොවැටෙන ලෙසින් ගස් කොළං අතු පතර රොඩු ගොඩවල් පැවතීම වෙැසිකිළි වළේ කොන්ක්‍රීට් ලෑල්ල වැසී යන පරිදි ගඩොල්, තහඩු, උළුගොඩවල්, ලෑලි දමා ඇව් රශ්මියට බාධා කිරීම ජලය රැස්වීම යන කරුණු මත වැසිකිළි වළ දුර්ගන්ධය අවට පැතිරීම නිවසට සංක්‍රමණය වීම, නිවාසවල සති ගණන් මාස ගණන් ජනෙල්, දොරවල් වසා තැබීමෙන් දුර්ගන්ධය හට ගනී. සමහර නිවෙස්වල ප්‍රධාන දොර වසා දමා කුස්සියේ දොර විවෘතව තබා ගැනීම නිසා ඉදිරිපස කොටස අඳුරුවී දුර්ගන්ධයට ලක් වීම, නිවාස ඇතුළත බොහෝ දුර්ගන්ධ වීමටත්, අඳුරු වීමටත් ප්‍රධානම කරුණ නම් දොර, ජනෙල් වසාගෙන සිටීමයි. අවම වශයෙන් උදේ වරුවේ පැය 4ක් වත් නිවස තුළට සූර්ය රශ්මිය ලැබෙන පරිදි විවෘතව තැබීම කළ යුතුය. නිවස අවට ඇති සෙවණ දෙන ගස්වල අතු කපා දැමීම, නිවසට හොඳින් අව්ව සුළඟ ලැබීමට සැලැස්වීම තුළින් නිවසේ දුර්ගන්ධයන් ඉවත් කිරීමට හැකි වන අතර එමඟින් අමනුෂ්‍යයන්ගේ පැමිණීම පාලනය කර ගැනීමටත් හැකි වේ. දිනපතා ගෙවල්, මිදුල අතුගෑම, කුස්සියෙහි ඉඳුල් භාජන එදිනම සෝදා දැමීම, ඇඳන්වල නිදියන කොට්ටා ඇඳ ඇතිරිලි නිතර පිරිසිදුව තබාගැනීම, අව්වට දැමීමත් නිවසේ දෛනිකව නොහැකි නම් ඉඳහිට හෝ කහ වතුර ඉසීම, දෙහි යුෂ ඉසීම, ලුණු කැට දියකර නිවස ඇතුළත මොප් කිරීම, ඖෂධීය සුවඳ ධූපය නිවසට ඇල්ලීම, නාන කාමරයේ දොර නිතර වසා තැබීම, නාන කාමරයේ ජනෙල් අව් රශ්මිය සඳහා විවෘතව තැබීමත්, ලුණු කැට භාජනයක් නාන කාමරයේ මුල්ලක තැබීම, රාත්‍රී කාලයේ පැයක් දෙකක් නාන කාමරයෙහි විදුලි බල්බය දල්වා තැබීම ද, නිවසේ අත්තිවාරම හා වැසිකිළි වළේ අත්තිවාරම අතර කොටසෙහි පෝච්චියකට හෝ ඇට්ටේරියා පැළයක් සිටුවීම වැනි ක්‍රියාවල් තුළින් බොහෝ අශුභ ශක්තීන්ගෙන් ඇතිවෙන පීඩාවන් බොහෝ අඩු කර ගත හැකි අතර නාන කාමරයෙහි සුවඳ ගල්වනයක් තබා ගැනීම ද සුදුසු වේ. කෙසේ හෝ නිවසේ දුර්ගන්ධය ඇති කරන නාන කාමරය නිතරම පවිත්‍රව තබාගැනීම සියලුම කරුණුවලටත් වඩා තම නීරෝගි සෞඛ්‍යයට හිත කර වේ.

අමනුෂ්‍ය දෝෂ ඇති කර නිවසේ දුර්ගඳය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති, වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment