චැප්ලින්ගේ නූතන ලෝකය

23

පෘථිවියේ උපත මීට වසර බිලියන 4.543කට පමණ පෙර සිදු වී ඇතැයි විද්‍යාඥයන් විසින් ගණනය කර තිබෙනවා. මේ විදිහට ඉලක්කම් වලින් කිව්වම ඒ තරම් දැනෙන්නේ නැති නිසා මේ අතිශය දීර්ඝ කාලය පෘථිවි ඉතිහාසයේ විවිධ අවස්ථාවන් එක්ක සසඳලා පැය 24 ඔරලෝසු වෙලාවට දාලා සරලව විස්තර කරන්න ඇතැම් විද්වතුන් උත්සාහ කරලා තිබෙනවා. ඔය පෘථිවි ඔරලෝසු වෙලාව සැලකුවහම මිනිසා මිහිමතට පැමිණිලා තිබෙන්නේ දවස අවසාන වෙන්න මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී. එහෙම ආපු අපි තමයි මේ වන විට සමස්ත පෘථිවියේම පාලනය සියතට ගෙන කටයුතු කරන්නේ. පෘථිවි ඉතිහාසය සමග සැසඳීමේ දී අපි මිහිමත ගෙවලා තියෙන්නේ ඉතාමත් සුළු කාලයක් බව අප සැමවිටම සිහි තබා ගත යුතුයි.

කොහොම වෙතත් භූ විද්‍යා කාල පරිමාණය (Geological Time Scale) පිළිබඳව මූලික අදහසක් නැති කෙනෙකුට එය එක්වරම අවබෝධ කරගන්න අසීරු වෙන්න පුළුවන්. ඒක අපට සමීප නැති යෙදුම්, යුග බෙදීම්, ඉලක්කම් ගහන කලාපයක්! අද අපේ අරමුණ භූ විද්‍යා කාල පරිමාණය ගැන විස්තර කරන්න නෙවෙයි. නමුත් මේ හා සම්බන්ධ වෙනත් කාරණයක් ගැන කතා කරන්න. ඒ තමයි ඇන්ත්‍රොපොසීනය! (Anthropocene) ඒ කියන්නේ මොකක් ද? විද්‍යාඥයන් විසින් ඇන්ත්‍රොපොසීනය නමින් නව පෘථිවි අවධියක් (Geologicalepoch) යෝජනා කර තිබෙනවා. පෘථිවියේ භූ විද්‍යාත්මක අවධි ගැන යම් අවබෝධයක් තියෙන ඔබට ඇන්ත්‍රොපොසීන (Anthropocene) අප දැනට දන්නා හෝ අසා තිබෙන හොලෝසීනය (Holocene), ප්ලයිස්ටොසීනය (Pleistocene), ප්ලයෝසීනය (Pliocene) මයෝසීනය (Miocene), ඔලිගොසීනය (Oligocene) ආදී භූ විද්‍යාත්මක අවධි නාමකරණයේ යෙදුම්වල සමීප බවක් දැනෙන්න පුළුවන්. ඇන්ත්‍රොපො (Anthropo) කියන ග්‍රීක වචනය “මිනිසා” හෝ “මානවයා” යන අරුත ඇතිව යෙදෙන්නක්! එවිට අපට හැඟෙන දෙයක් තමයි මොකක් හෝ මිනිසාට සම්බන්ධ භූ විද්‍යාත්මක යුගයක් ගැන ද මේ කියන්නේ කියන්නේ කියලා. ඔබ එහෙම හිතුවා නම් ඔබ ඇත්තටම නිවැරදියි. ඇන්ත්‍රොපොසීනය කියන්නේ එහෙම අරුතකින් යෙදුන එකක්ම තමයි. පෘථිවියේ මෑත කාලීන මානව කාලය (Recent age of man) හැඳින්වීම සඳහා තමයි මේ යෙදුම භාවිත කරන්නේ.

බි්‍රටැනිකා විශ්වකෝෂයේ තොරතුරුවලට අනුව ඇමරිකානු ජීව විද්‍යාඥ ඉයුජින් ස්ටෝර්මර් (Eugene Stoermer) විසින් 1980 ගණන් වල අග භාගයේ දී මෙම යෙදුම නිර්මාණය කළ ද, ලන්දේසි රසායන විද්‍යාඥයෙකු වන පෝල් කෲට්සෙන් ට (Paul Crutzen) තමයි මේ යෙදුම මහජන අවධානයට යොමු කිරීමේ ගෞරවය හිමිකර ගන්නේ. 2008 දී බි්‍රතාන්‍ය භූ විද්‍යාඥ ජෑන් සෙලසිවිස් (Jan Zalasiewicz) සහ ඔහුගේ සගයන් විසින් “Anthropocene Epoch” විධිමත් භූ විද්‍යාත්මක කාල යුගයක් ලෙස සම්මත කර ගැනීමේ පළමු යෝජනාව ඉදිරිපත් කරනවා. 2016 දී ජාත්‍යන්තර භූ විද්‍යා සංගමයේ (The International Union of Geologic Sciences-IUGS) මානව ජීවී ක්‍රියාකාරී කණ්ඩායම 35 වැනි ජාත්‍යන්තර භූ විද්‍යා සම්මේලනයේදී (35th International Geological Congress) ඇන්ත්‍රොපොසීනය විධිමත් භූ විද්‍යාත්මක යුගයක් ලෙස නිර්දේශ කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අද වන විට මේ පිළිබඳව තව බොහෝ සාකච්ඡාවන් සහ සංවාද ඇති වී තිබෙනවා.

අප පිළිගන්න දේ තමයි දැන් අප ජීවත්වෙන පෘථිවි අවධිය හොලෝසීනය (Holocene – 11,700 සිට වර්තමානය දක්වා) වන බව. දැන් ලෝකයේ ජනගහනය බිලියන 7.5 ක් පමණ වෙනවා. ඒ කියන්නේ පෘථිවියේ අප හොඳින් ස්ථාවර වී සිටින බව. වෙනත් විදිහකින් කිවහොත් අප පෘථිවිය මත අපගේ ආධිපත්‍යය පතුරුවාගෙන, අප පෘථිවියට මින් පෙර පෘථිවි ඉතිහාසයේ කිසිම දිනක නොවූ විරූ අයුරින් එයට බලපෑම් කරන බව. මේ නිසා මේ යුගයේ පෘථිවිය මත මිනිසාගේ කාලය (Age of man) ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් මිහිමත ප්‍රමුඛ වූ පෘථිවි අවධි ගැන ජුරාසික් පාර්ක් (Jurassic Park) වගේ චිත්‍රපටයක් නරඹා තිබෙනවා නම් ඔබට යළි සිහිකර ගත හැකියි. ඒ වගේම, මේ තමයි මානවයන් පෘථිවිය මත ආධිපත්‍යය පතුරුවාගෙන සිටින කාලය. අප ජීවත් වන මේ කාලය හොලෝසීනයේ අවසානය සහ ඇන්ත්‍රොපොසීනයේ ආරම්භය සටහන් කරනවා. ඇතැම් විද්‍යාඥයන් කියන විදිහට අප මේ පසු කරමින් තිබෙන්නේ හොලෝසීනයේ සිට ඇන්ත්‍රොපොසීනය දක්වා වන සංක්‍රාන්තීය කාල පරිච්ඡේදයක්!

මෙම නාමකරණය සහ ඊට පාදක වූ හේතු පිළිබඳව අප තවදුරටත් අවධානය යොමු කළ යුතුයි. මානව ක්‍රියාකාරකම් පෘථිවියේ දේශගුණය, පරිසර පද්ධති සහ ඒවායේ ජෛවීය සහ අජෛවීය සංරචක කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට පටන් ගත් පෘථිවි ඉතිහාසයේ වඩාත්ම මෑතකාල පරිච්ඡේදය විස්තර කිරීමට භාවිත කරන භූ විද්‍යාත්මක කාලය පිළිබඳ නිල නොවන යෝජිත අවධියක් ලෙසයි ඇන්ත්‍රොපොසීනය හැඳින්විය හැක්කේ. මේ නම් කිරීම නිල නොවන තත්ත්වයෙන් පැවතුණත් මේ සඳහා ඉදිරිපත් කරන විද්‍යාත්මක සහ තාර්කික සාධක අපට කිසි ලෙසකින් බැහැර කළ නොහැකියි. මක්නිසාද යත් මිනිසා පෘථිවිය මත ප්‍රමුඛ වීම සහ ඒ සඳහා ඔහු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් පෘථිවියේ පැවැත්මට එල්ල වී තිබෙන තීරණාත්මක බලපෑම් නැතිනම් තර්ජන පිළිබඳ කතාවක් මේ නාමකරණය පිටුපස තිබෙනවා නිසා.

මේ යෝජිත කාලය ආරම්භ වූවා යැයි මූලිකවම සැලකෙන්නේ සිද්ධිය එංගලන්තය පාදක කරගෙන දහ අට වැනි සියවසේ දී සිදුවූ කාර්මික විප්ලවය (Industrial revolution). මෙය මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සංධිස්ථානයක්! අපි පූර්වයෙහි කතා කරපු මිනිසා කෘෂිකර්මය ආරම්භ කිරීම වගේම වැදගත් එකක්. සරලව කාර්මික විප්ලවය යනු අතින් භාණ්ඩ නිර්මාණය කිරීමේ සිට යන්ත්‍ර භාවිතය දක්වා විකාශනය වීම ලෙස සැලකිය හැකියි. මෙහිදී මානව සහ සත්ත්ව ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර වෙත පවරනු ලැබුවා. විද්‍යාවට, තාක්ෂණයට, විද්‍යාඥයන්ට, කාර්මිකයන්ට සහ ආයෝජකයන්ට නව වටිනාකම් ආරෝපණය වුණා. පූර්වයෙහි පැවැති වටිනාකම්, ප්‍රතිමාන අවලංගු වී ගියා. නැතිනම් නොසලකා හැරුණා. එය මිනිසුන්ට පමණක් සීමා වුණේ නැහැ. සතුන්, ගහ-කොළ, වනාන්තර, ගංගා, සාගරය මේ සෑම දෙයක් දිහාම උපයෝගිතා සහ පරිභෝජනවාදී දෘෂ්ටියකින් බලන්නත් ඒ අනුව කටයුතු කරන්නත් පොළඹවන සහ උත්තේජනය කරන පරිසරසරයකුත් මේ සමග නිර්මාණය වුණා.

කාර්මික විප්ලවය, නූතන ඉතිහාසයේ, කෘෂිකාර්මික, ගෘහ කර්මාන්ත ආර්ථිකයක සිට කර්මාන්ත සහ යන්ත්‍ර නිෂ්පාදනය ආධිපත්‍යය දරන ආර්ථිකයකට වෙනස් වීමේ ක්‍රියාවලිය සනිටුහන් කරා. මෙම තාක්ෂණික වෙනස්කම් වැඩ කිරීමේ සහ ජීවත් වීමේ නව ක්‍රම හඳුන්වා දුන් අතර සමාජය මූලික වශයෙන් පරිවර්තනයට ලක් කරනු ලැබුවා.

අති දක්ෂ නළුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චාලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම්ස් (Modern Times) වැනි චිත්‍රපටයකින් නිරූපණය වන්නේ කාර්මික විප්ලවයට පසු යුරෝපයේ ජන ජීවිතයේ, මානව සම්බන්ධතා වල සිදු වූ උඩු යටිකුරු වීම් පිළිබඳවයි. මා ඔබට ආරාධනා කරනවා හොලෝසීනයේ සිට ඇන්ත්‍රොපොසීනය වෙත සංක්‍රමණය වෙමින් සිටින ගමන් චැප්ලින්ගේ නූතන ලෝකයට (Modern Times) එබී බලන්නටත් මේ සති අන්තයේ වෙලාවක් වෙන්කරගන්නා හැටියට.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment