අයවැය වැඩසටහන

ලබන වර්ෂය (2024) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (13දා) දවල් 12.00ට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. මෙය හඳුන්වනු ලබන්නේ අයවැය දෙවන වර කියවීම වශයෙනි. මේ වන විට නව අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙසේ විසර්ජන පනත් කෙටුම්පත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හඳුන්වන්නේ අයවැය පළමුවර කියවීම ලෙසය. හෙට අයවැය කතාව පැවැත්වීමෙන් පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා දින හතක් පැවැත්වෙන අතර 21 දා පස්වරු 6.00 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඉන් පසු නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වෙයි. අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින (13දා) ප.ව. 6.00 ට සිදු කෙරේ. අයවැය විවාදයන් එම දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වේ. මෙසේ තුන්වන වර කියවා අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා කථානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට එය රටේ නීතියක් බවට පත්වනු ඇත. මේ අනුව ලබන වසරේ (2024) මුල සිට රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ හෙට (13දා) ඉදිරිපත් වන නව අයවැය මගිනි.

අයවැයේ අභියෝගය

අයවැයෙන් කලින්ම නත්තල් තෑගි!

මේ අයවැය ඉදිරිපත් වන්නේ රටට ඉතා තීරණාත්මක සහ ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවකය. තවමත් රට තිබෙන්නේ ඍණ ආර්ථිකයකය. එය මේ වසරේ (2023) අවසන් කාර්තුවේ සිට ධන අගයකට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කරනු අතර ලබන වසරේ (2024) සිට සමස්ත ආර්ථික වර්ධන අගය ධන අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ඒ සඳහා බිඳ වැටී ඇති අපේ ආර්ථික ක්‍රියාකාරකම් පණගන්වාගත යුතු වේ. මේ වන විට ජනතාව ජීවත් වන්නේ බොහෝ අමාරුවෙනි. ජීවන වියදම අහස උසට ඉහළ ගොස් ඇත. එසේම ව්‍යාපාර ආයතන පවා ගෙන යන්නේ බොහෝ අපහසුවෙනි. මේ නිසා අප සිතන්නේ රටේ ආර්ථික කටයුතු පණගන්වා ගැනීම සඳහා මෙන්ම ආර්ථිකයේ ඉල්ලුම වර්ධනය කර ගැනීම සඳහා මෙවර අයවැයෙන් ද බොහෝ දිරිගැන්වීම් අවශ්‍ය කරන බවයි. ඒ සඳහා කෙතරම් දුරට මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබේ ද යන්න හෙට හවස වන විට අපට දැකබලාගත හැකිය. අපට බිඳ වැටී ඇති ආර්ථික කටයුතු වේගයෙන් පණගන්වා ගත හැකි වුවහොත් මේ ඍණ ආර්ථිකය ඉතා ඉක්මනින් ධන ආර්ථිකයක් බවට පත් කරගත හැකිය.

මෙවර අයවැය ඉතා ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් සහ ඉතාම ඉහළ වියදම් පිළිබඳ පෙළගැස්මක් සහිතව සිදු කිරීමට සිදුව ඇති බවත් මෙම අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මෙසේ ද කියයි.

‘මේකත් පහසු අයවැයක් නෙවෙයි. මේ වසරේ (2023) පළමු කාර්තු දෙකම ඍණ ආර්ථිකයක් තිබුණේ. ආර්ථිකය සංකෝචනය වුණා. ඉදිරි කාර්තුවල වෙනසක් වෙයි. ඒ නිසා ඉතාම අසීරු තැනක ඉඳලා තමයි 2024 වසර සඳහා අපට ආදායම් සහ වියදම් තක්සේරු කරන්නත් වෙලා තිබෙන්නේ. මෙවර අයවැය ඉතා ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් සහ ඉතාම ඉහළ වියදම් පිළිබඳ පෙළගැස්මක් සහිතව සිදු කිරීමට සිදුව ඇත්තේ මේ නිසයි.’

මේ අනුව රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට සහ ඉතා ඉහළ වියදම් කළමනාකරණයක් සහිතව මෙවර අයවැය සම්පාදනය කිරීමට සිදුව තිබෙන බව අපට පැහැදිලිය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම

මෙවර රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමක් ද සිදුවනු ඇත. මේ වැටුප් වැඩිකරන අගය පිළිබඳ විවිධ අදහස් මාධ්‍ය හරහා ප්‍රකාශ විය. ඇතැම් වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රු.20000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බවයි. රු.12500 කින් වැටුප් වැඩි කිරීමක් සිදුවනු ඇති බවට ද අදහස් ප්‍රකාශ විය. එහෙත් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ එවැනි විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට තවමත් හැකියාවක් නොමැති බව අපගේ අදහසයි. අනිත් අතට එම රාජ්‍ය සේවක වැටුප් සඳහා බර දැරීමට සිදුවනු ඇත්තේ රටේ සමස්ත බදු ගෙවන ජනයාටයි. අධික බදු බරින් සහ ජීවන බරින් මිරිකී සිටින ජනයාට රාජ්‍ය සේවකයන් සඳහා පමණක් විශාල වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් තවත් අධික බරක් පැටවීම සාධාරණ නොවනු ඇත. පුද්ගලික අංශයේ සහ වෙනත් මාසික වැටුප් නොලබන ස්වයං රැකියා සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශවල රැකියා කරන අවිධිමත් අංශවල අතිමහත් බහුතර සේවක ප්‍රජාවට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවක පිරිස සුළුතරයකි. රජය මගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කර පුද්ගලික අංශයෙන් වැටුප් වැඩිකරන ලෙස අවශ්‍ය නම් හෙට ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් යම් යම් මට්ටම්වලින් පුද්ගලික අංශයේ වැටුප් වැඩි වීම් සිදුවිය හැකි නමුත් ඒ ඉල්ලීම් ප්‍රායෝගිකව එලෙසම ඉටු නොවන බව අපි දනිමු. ඇතැම් පෞද්ගලික අංශයේ ආයතන කොරෝනා වසංගතයෙන් පසු මේ දක්වාම වැටුප් වැඩි කිරීම් සිදුකර නැත. ඒ නිසා අප සිතන්නේ පසුගිය කාලයේ සිදු වූ වේගවත් බඩු මිල වැඩිවීමට සහ බදුබර වැඩි වීමට සාපේක්ෂව රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේ මෙන්ම වෙනත් මාසික වැටුප් නොලබන අවිධිමත් අංශවල ජනයාගේ ද මුර්ත ආදායම්වල විශාල කඩා වැටීමක් සිදුව ඇති බවයි. ඒ නිසා රාජ්‍ය සේවකයන් සඳහා පමණක් විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමෙන් අනෙකුත් අතිමහත් බහුතර ජනයාට අසාධාරණයක් වන බව කිව යුතුය. රාජ්‍ය සේවකයන් පමණක් නොව සියලු දෙනාම සිටින්නේ අපහසුවෙනි. මේ නිසා රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දී මේ සියලුම කරුණු සලකා බලා අමාරුවෙන් ජීවත් වන සියලු ජනයා ගැන සිතා කටයුතු කළ යුතුව ඇති බව අපගේ අදහසයි.

මේ කරුණු මෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් මෙවර අයවැයෙන් සිදුවනු ඇති බවත් එම අගය ඉදිරිපත් වනු ඇත්තේ අයවැයට පෙර පවත්වන අවසාන අමාත්‍ය මණ්ඩලය හමුවට බවත් මේ ගැන විමසූ විට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ ලියුම්කරුට කීවේය. ඒ නිසා මේ ගැන අපට හරියටම දැනගත හැකි වනු ඇත්තේ හෙට අයවැය කතාව මගින් ඉදිරිපත් කරන අයවැය යෝජනා කියවන විටය.

අලුත් බදු යෝජනා

මෙවර අයවැයෙන් ලබන වසර (2024) මුල සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු වැඩි කිරීම ඇතුළු තවත් නව බදු යෝජනා හඳුන්වා දීමට ද නියමිතය. ඒ නිසා මේ වන විටත් සැලකිය යුතු බදු බරකට යටත්ව සිටින ජනයාගේ බදු බර ලබන වසර (2024) මුල සිට තවත් වැඩි වනු ඇත. එනම් විශේෂයෙන් දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය ලබන වසරේ (2024) ජනවාරි 01 දින සිට සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම බදු වැඩි කිරීම හෙට අයවැයෙන් ඉදිරිපත්වනු ඇත. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් වැට් බද්ද පැනවීමට ද නියමිතය. මේ වැට් බද්ද වැඩි කිරීමට සහ අලුතින් පැනවීමට අදාළ යෝජනා මෙන්ම තවත් රජය බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා වන නව බදු යෝජනා කිහිපයක් ද මෙවර අයවැයෙන් ඉදිරිපත් වනු ඇත. මේ නව බදු යෝජනා මොනවා ද යන්න අප තවමත් දන්නේ නැත. 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බදු යෝජනාවලට අමතරව අයවැයත් සමග වහාම ක්‍රියාත්මක වන බදු යෝජනා ද ඇතැම් විට තිබිය හැකිය. එසේ කීමට හේතුවක් තිබේ. එනම් අප දැනටමත් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ආදායම් ඉලක්කවලට වඩා පසුපසිනි. මේ වසරේ (2023) ඔක්තෝබර් මස 12 වැනිදා පමණ වන විට අපට එකතු කර ගැනීමට හැකිව තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතු මු`ථ බදු ආදායමෙන් රු. බිලියන 1138 ක් හෙවත් සියයට 68ක් පමණි. ඒ අනුව මේ වසර අවසන් වන විට එම මුළු ආදායම් ඉලක්කයෙන් සියයට 38 ක් එනම් තවත් රු. බිලියන 529 ක බදු ආදායමක් රැස්කළ යුතුව තිබිණි. ඒ නිසා මේ ආදායම් ඉලක්කයට යෑමට අපහසු බව රජයට පෙනී ගොස් ඇත්නම් අයවැය සමග වහාම ක්‍රියාත්මක වන බදු වැඩි කිරීමේ හෝ වෙනත් මිල හා ගාස්තු වැඩි කිරීමේ යෝජනා ද අයවැයේ අන්තර්ගතවීමට ඉඩ තිබේ.

වක්‍ර බදු හා සෘජු බදු බර

බදු ආදායම් වැඩි කර ගැනීමේ දී අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත පැටවෙන බර අඩු කිරීමට නම් භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු වෙනුවට ක්‍රමයෙන් සෘජු බදු ආදායම් ලැබීම වර්ධනය කරගත යුතුව තිබේ. එහෙත් වැට් යනු වක්‍ර බද්දකි. එනම් භාණ්ඩ හා සේවා මත පනවන බද්දකි. එවැනි වක්‍ර බදු සියලු ජනයා මත බර පටවන අතර ධනවත් අයගේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව සාමාන්‍ය අඩු ආදායම් ලබන ජනයා මත වැඩි බදු බරක් ද පටවයි. මේ බදු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී මිලත් සමගම ගෙවීමට සිදුවෙන බැවින් මේ බදු පැහැර හැරීමට සාමාන්‍ය ජනයාට පුළුවන්කමක් ද නැත. ඉහළ ආදායම් ලබන්නන් බොහෝ පිරිසක් බදු පැහැර හරින බව රහසක් නොවේ. ඒ නිසා එම බදු පැහැර හරින බොහෝ පිරිස් බදු දැලට එකතු කර ගනිමින් කළ යුතු වන්නේ බදු පදනම පුළුල් කර ගැනීමයි. එනම් බදු ගෙවන ආයතන හා පුද්ගලයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමයි. ඒ සඳහා දැනට පවතින දුර්වල බදු පරිපාලනය ශක්තිමත් කරගත යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ද නව බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අමතරව බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් බැහැර කිරීම සඳහා සක්‍රීයව ක්‍රියා කළ යුතු බවයි. මේ නිසා අයවැයෙන් කවර බදු යෝජනා ගෙනාවත් අදාළ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගැනීමට නම් අනිවාර්යෙන්ම බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීම සඳහා වන යෝජනා ද අයවැයට ඇතුළත් විය යුතුව තිබේ. සමාජයේ ජීවත් වීමේ දී භාණ්ඩ හා සේවා පරිභෝජනය නොකරන කෙනෙක් නැත. ඒ නිසා සියලු දෙනාටම වැට් බද්ද ඇතුළු වක්‍ර බදු බර දැරීමට සිදුවෙන අතර කොරෝනා වසංගතයෙන් පසු බහුතර ජනයාගේ ආදායම් මට්ටම්වල වැඩි වීමක් ද සිදුව නැති බැවින් සහ සිදුව ඇත්තේ මුර්ත ආදායම්වල කඩා වැටීමක් බැවින් මේ නව බදු බර හරහා සිදුවනු ඇත්තේ ද ජනයාගේ ජීවන බර තවත් වර්ධනය වීමයි. ඒ නිසා බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා ලේසියට වක්‍ර බදු වැඩි කිරීමට වඩා දිගුකාලීනව කළ යුතු වන්නේ බදු ගෙවිය හැකි එහෙත් බදු ගෙවීම පැහැර හරින ආයතන සහ පුද්ගලයන් අලුතින් බදු දැලට කොටු කර ගැනීම මගින් (බදු පදනම වර්ධනය ගැනීමෙන්) සෘජු බදු ආදායම් වර්ධනය කර ගැනීමයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ

අප තවමත් සිටින්නේ ආර්ථික අර්බුදයේ ඇලීගැලී ඉන් ගොඩ ඒමට උත්සාහ කරමිනි. එසේම ඉතිහාසයේ අප මේ මුහුණ දී සිටින දරුනුතම ආර්ථික හා විනිමය අර්බුදයෙන් මිදීම සඳහා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ගෙන තිබේ. ඒ අනුව අප එම අරමුදල මගින් ලබාදෙන අරමුදල් පහසුකම් වැඩසටහනකට ඇතුළත්ව සිටින අතර ඒ අනුව අප විසින් එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුව ද තිබේ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම, බදු ආදායම් වර්ධනය කර ගැනීම සහ වංචා හා දූෂණ අවම කර ගැනීම ඇතුළු බොහෝ වෙනස්කම් කිරීමට රජයට සිදුවනු ඇත. ඒ සඳහා මෙවර අයවැයෙන් ද තවදුරටත් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපට සිතිය හැකිය. ජාත්‍යන්තර මූලය අරමුදල මේ සම්බන්ධයෙන් අපට පවසා ඇත්තේ ආර්ථිකය තිරසාරව යථා තත්ත්වයට පත් කිරීම මෙහෙයවීම සඳහා මෙන්ම ස්ථාවර හා සහභාගිත්ව ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කිරීමේ නැඹුරුතාව දිගටම පවත්වාගෙන යෑම අතිශය වැදගත් වන බවයි. රට බංකොළොත් කළේ ජනතාව නොවන නමුත් ඒ සඳහා වගකිව යුත්තන් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉතා හොඳින් සිටින නමුත් මේ ප්‍රතිසංස්කරණ කිරීමේ දී එහි වේදනාව සහ පීඩාව වැඩි වශයෙන් විඳීමට අකමැත්තෙන් වුවත් සිදුවනු ඇත්තේ සාමාන්‍ය ජනයාටය.

පෞද්ගලික අංශයේ යෝජනා

මහජන ඡන්දයෙන් බලයට පත් වුවත් රජය සිතන හැම දේම නිවැරදි හෝ ප්‍රායෝගික වන්නේ නැත. ඒ නිසා අප සිතන්නේ ජාතික අයවැයක් සකස් කිරීමේ දී ආර්ථික හා මූල්‍ය අංශවල විද්වතුන් සහ වෙනත් විද්වතුන්, සමාජ සංවිධාන, වාණිජ මණ්ඩල පමණක් නොව පුරවැසියන්ගේ යෝජනා පවා සලකා බැලීම සුදුසු බවයි. එහෙත් හැම දෙනාම සතුටු වන පරිදි සියලු දෙනාගේ අවශ්‍යතා ඉටුවෙන පරිදි අයවැයක් සකස් කළ නොහැකි බව ද ඇත්තය. එවැනි විවිධ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙනද ඒවා අතරින් සුදුසු යෝජනා අයවැය සම්පාදනයේ සැලකිය හැකිය. මේ අනුව මීට පෙර අයවැය ලේඛන සකස් කිරීමේ දී ද මහජන අදහස් හා යෝජනා ලබාගෙන තිබේ. මේ අයුරින් මෙවර අයවැයට ද ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද ඇතුළත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පවසා තිබුණි. ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පවසා තිබුණි. පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි. ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බව ද ජනාධිපතිවරයා කියා තිබුණි. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කර තිබිණි.

මේ හමුවේ දී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟාසිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත. ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති උපදේශක චන්ද්‍රා ෂාෆ්ටර්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු සහ පුද්ගලික අංශයේ ආයතන රැසක ප්‍රධානීන් මේ සාකච්ඡාවට එක්ව සිටියේය. මේ අතර ඉදිරි අයවැය සඳහා සලකා බලනු පිණිස යෝජනා දහයක් මහජන එක්සත් පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉකුත් 09 දින පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ දී ඉදිරිපත් කළේය. මෙම අවස්ථාවට, මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එම පක්ෂයේ උප සභාපති හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටියේය. මෙලෙස තවත් බොහෝ යෝජනා අයවැයට සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ලැබෙන්නට ඇත. ඒ ආනුව මේ කරුණු මෙවර අයවැය සම්පානය සඳහා සුදුසු පරිදි අදාළ කරගනු ඇතැයි අපට සිතිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment