අයිසීසී ශූරියන්ගේ කුසලාන තරගාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීම රටට විශාල ගෞරවයක්

221

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

2027 අයිසීසී කාන්තා ශූරියන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීම අප රටට විශාල ගෞරවයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇති පිළිගැනීම මෙමගින් මනාව පිළිබිඹු වන බව ද කාන්තා ක්‍රිකට් ලොව පුරා ගෙන යෑමේ වැඩ සටහනේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සැලකීම අප බෙහෙවින් සතුටු විය යුතු කරුණක් බවද ඒ මහතා සඳහන් කළේය.

2024 වසරේ සිට 2027 වසර දක්වා අයිසීසී ප්‍රධාන කාන්තා තරගාවලි සඳහා සත්කාරකත්වය ලබා දෙන රටවල් පිළිබඳව පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික රැස්වීමේදී ඒ බව තීරණය කර තිබුණි.

කණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත එම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීමට නම් එම කණ්ඩායම් හය අතරට ශ්‍රී ලංකාව ද එක්විය යුතු අතර පන්දු වාර 20- 20 තරග රටාව යටතේ තරගාවලිය පැවැත්වේ.

මෙරට කාන්තා ක්‍රිකට් නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුවිශේෂී වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපි අපේ කණ්ඩායම හොඳ කණ්ඩායමක් බවට පත්කර මෙම තරගාවලියේ සත්කාරකත්වය අප වෙතම රඳා ගත යුතුයි. මේ අවස්ථාව ගිලිහී යෑමට දෙන්න බැහැ. මේ ලැබුණු විරල අවස්ථාවට උපරිම ශක්තියෙන් කටයුතු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පවසා සිටියේය. මේ අතර 2024 කාන්තා පන්දු වාර 20 – 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය බංග්ලාදේශයටත්, කාන්තා එක්දින ලෝක කුසලානය 2025 වසරේ ඉන්දියාවටත්, 2026 කාන්තා පන්දු වාර 20 – 20 ලෝක කුසලානය එංගලන්තය තුළ පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment