ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසින් පිළිගැනීම අප ලද විශාල ජයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

176

ගෝල්ෆේස් පිට්ටනිය කැසිනෝකාරයකුට! විසුම්පායට මිල නියම කරලත් ඉවරයි – විජිත හේරත් (ජාජබ)

ආණ්ඩුව ජනතාව තවත් ණයකාරයන් කරනවා – ලක්‍ෂ්මන් කිරිඇල්ල (සජබ)

අද ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට ලෝක ප්‍රජාව පිළිඅරන් ඇති බවත් එය අප ලැබූ විශේෂ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය. කෙටුම්පත් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

ආර්ථිකය තිබුණු තත්ත්වය සමහරුන්ට මතක නෑ. සමහරු අමතක කරන්න කටයුතු කරලා විවිධ දෝෂාරෝපණ කරනවා. එවිට ආර්ථිකය ගොඩගන්න කැපවූ අයට කලකිරීම් ඇතිවෙනවා.

අපි සියයට 6ට ණය දුන්නා. ඒවා අරගෙන ජනතාව වියදම් කළා. ආර්ථික ගැටලු ඇති වුණා. පොලිය සියයට 16ක් ණය පොලිය ගෙනගිය නිසා ණය ගැනීම් අඩු වුණා. දැන් ණය පොලිය සියයට 10ට වඩා අඩුයි.

උද්ධමනය සියයට 70 පැන්නා අද එය සියයට 6ට අඩු වුණා. තවත් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කරනවා. මෙය අපි ලැබූ ජයග්‍රහණයක්. ආහාර උද්ධමනය සියයට 96 සිට සියයට 3.3ට අඩු කළා.

පසුගිය වර්ෂයේ දී ආර්ථිකය 1.6ක් දක්වා වර්ධනය වුණා. එය ජයග්‍රහණයක්. එය අමතක කිරීමට පෙළඹීම සාධාරණද?

සංචාරක කර්මාන්තය දියුණුවෙලා. දකුණු පළාතේ හෝටල් කාමරයක් අද වෙන් කරගන්න බැරිවෙලා. අද ලෝක ප්‍රජාව ලංකාව සංචාරක ගමනාන්තය බවට පත් කරගෙන තිබෙනවා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ප්‍රශ්න තිබෙනවා නමුත් යම් ගමනක් යෑමට අපට අවස්ථාව උදාවී තියෙනවා. එය නිකං ලැබුණු එකක් නොවෙයි. අපේ දැඩි කැපවීමක ප්‍රතිඵලයක්. මීට විකල්ප තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.

පරාටේ නීතිය ගැන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ලක්‍ෂ 50කට වැඩි ණය ගන්න අයටයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලය දීලා තියෙන්නේ. බැංකුවක් පවත්වාගෙන යෑමට ණය ආපසු ලැබිය යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ආරක්‍ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා.

ආනයන සීමා අද වාහන හැර අනික් සියල්ල නිදහස් කර තිබෙනවා. නමුත් අපි රජයට අත්‍යවශ්‍ය වාහන 29ක් ගෙන ඒමට ඉඩ දුන්නා. සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවලටත් ශ්‍රී ලංකන් ආයතනයටත් ඒ අවස්ථාව ලැබුණා. ඉන් වාහන 3ක් හැර ඉතිරි සියල්ලටම අවශ්‍ය ප්‍රතිපාදන ජාත්‍යන්තර සංවිධානවලින් ලැබුණා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් (දෙ.ජා.ස.) – මේ වනවිට ලංකාව සුළු කර්මාන්ත දෙලක්‍ෂ තිස්දහසකට වඩා වහලා දාලා. පරිසර බලපත්‍ර අලුත් කරලා නෑ. සුළු කර්මාන්තවලට කිසිම සහනයක් ලැබී නෑ.

ආර්ථිකය විනාශ කරපු අයට එරෙහිව නඩු තීන්දුවක් දුන්නා. තවම තීන්දුව විතරයි. ඊට එහා කිසිවක් සිදුවී නෑ. පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාවෙන් එළිදරව්වක් කළා. ජනාධිපති කිව්වා දේශීයව පරීක්‍ෂණ කරනවා කියලා. ඒත් පරීක්‍ෂණයක් නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජ.ජ.බ.) – මහ බැංකුවේ නිලධාරීන් ලක්‍ෂ 7කින් පඩි වැඩි කරගෙන කියලා චෝදනා කරනවා. මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවෙලා මහ බැංකුවට අසීමිත ස්වාධීනත්වයක් දුන්නහම මේ වන තත්ත්වය පළමු ප්‍රතිඵල මේක. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ, අපි මේ තත්ත්වය එදා කිව්වා. ලක්‍ෂ 7 කින් පඩි වැඩි කරගන්නවා කියන එක කිසිසේත් අනුමත කරන්න බෑ. මේ ගැන ආණ්ඩුව මොන උත්තර දුන්නත් පිළිගන්න බෑ.

ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසින් පිළිගැනීම අප ලද විශාල ජයක් - රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

ගෝල්ෆේස් අරගලයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වුණා. දූෂණයෙන් තොරව අලුත් රටක් බිහිකිරීම අපේක්‍ෂාව වුණා. ඉතිහාසයේ ඓතිහාසික පියවර ගත් තැනක් තමයි ගෝල්ෆේස් පිටිය.

අලුතෙන් කැසිනෝ ශාලා පවත්වන්න අවසර දීගෙන යනවා. ගෝල්ෆේස් භූමියේ කැසිනෝ ශාලාවක් දාන්න අවසර දෙන්න යනවා. චීන නමක් තියෙන සමාගමකට බලපත්‍ර දෙන්න යන්නේ. චීන නමක් තිබුණට එහි පිටුපස ඉන්නේ මීගමුව පැත්තේ කුප්‍රකට සූදුකාරයෙක්. කොළඹ නුවර, ගාල්ල, යාපනය ඇතුළු ප්‍රදේශවල කැසිනෝ දාන්න බලපත්‍ර දීගෙන යනවා. ජනතාවගේ ජීවිතත් සමග කරන සෙල්ලමක්.

විසුම්පාය පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියන තැනක්. කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැතිව ආයතනයකට විකුණන්න යනවා. අඩුම තරමින් රජයේ තක්සේරුවටවත් විකුණන්නේ නෑ. රජයේ තක්සේරුව රුපියල් බිලියන 9ක්. දෙන්න යන්නේ බිලියන හතරහමාරකට. බාගෙට බාගයක් පාඩුයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල – රජය බංකොළොත් වුණාට ජාත්‍යන්තරයේ යනවා. හිඟා කනවා. ජනතාව බංකොළොත් වුණාම දේපළ උකස් තියනවා. අද දේපළ කනකර උකස් තියලා ඉතුරුවෙලා තියෙන්නේ චංචල දේපළ විතරයි. ඒ ශීතකරණය, වාහනය, ටීවී එක වගේ දේවල්. මේ පනත් ගේන්නේ ඒවාත් උකස් කරලා යම් මුදලක් හොයා ගන්නයි. සාමාන්‍ය ජනතාවට දැන් උකසට තියන්න දෙයක් නෑ. ජනතාව ඉතා අසරණයි. ආණ්ඩුව ජනතාව තව ණයකාරයන් කරනවා. අවුරුදු දෙකකින් ආණ්ඩුව ණය ගෙවලා නෑ. ඒ නිසා දැන් හොඳට රඟපානවා.

මහ බැංකුවේ අධිපති හෝ මුදල් අමාත්‍යාංශය රට බංකොළොත් වන බව රටට හෙළි කළේ නෑ හැංගවා. ඒ නිලධාරීන්ට මහ බැංකුව සියයට 70ක වැටුප් වැඩි කරලා. ලැයිස්තුව කියන්න පුළුවන්. ජනතාවට පටි තදකර ගන්න, සේවකයන් අඩු කරන්න කියලා උපදෙස් දෙනවා. නියෝජ්‍ය අධිපතිගේ වැටුප හත්ලක්‍ෂ දොළොස් දහසකින් වැඩි කරලා. මේවා නීති විරෝධී ගෙවීම්.

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය – මහ බැංකුවේ ගිවිසුමක් අනුව වසර 3න් 3ට වැටුප් වැඩි කරන්නේ. ඉදිරිපත් වන කරුණු ගැන අපි හොයා බලනවා. මහ බැංකුවේ කටයුතු අපි ස්වාධීන කර තියෙනවා. පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment