ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉන්නීදුසියාවේ ජාකර්තා අගනුවර දී දැන් ක්‍රියාත්මක “ආසියානු හොකී සම්මේලන කුසලාන” පිරිමි හොකී තරගාවලියට එක් වෙමින් මුහුණ දුන් දෙවන තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. තායිලන්තයට එරෙහිව ඉකුත් සෙනසුරාදා (19දා) පැවති තරගය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 00 – 00 ක් ලෙස විය.
තෙවන කාර්තුවේ 13 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් පළමු ගෝලය සටහන් කිරීමට තායිලන්තය සමත් විය. එහෙත්, සිව් වැනි හෙවත් අවසන් කාර්තුවේ 05 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට අනුරාධ සුරේෂ් රත්නායක සමත් විය. ඉන් අනතුරුව දෙපිලටම ගෝල් වාර්තා ගර ගැනීමට නොහැකි වූ බැවින් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් ඉකුත් 17 දින මුහුණ දුන් පළමු තරගයේ දී ගෝල් 03 – 02 ක් ලෙස කසකස්තානයට පරාජය වීම කැපී පෙණුනි.
එළඹෙන අගෝස්තු මස 27 සිට සැප්තැම්බර් මස 07 දක්වා ඉන්දියාවේ දී ක්‍රියාත්මක කෙරෙන 12 වැනි ආසියානු කුසලාන තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි තරගාවලිය පැවැත්වේ.
පිරිමි කණ්ඩායම් 10 ක් සහ කාන්තා කණ්ඩායම් 06 ක් අතරේ මෙවර “ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය” ජකර්තා අගනුවර දී දැන් පැවැත්වේ.
මේ අතර වාරයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවන පරාජයේ අමිහිර අත්විඳින්නට ඉකුත් සෙනසුරාදා (19දා) සිදු විය. ඒ, ප්‍රතිවාදී සිංගප්පූරුව හමුවේ ගෝල් 05 – 02 ක් ලෙස පසුබසින්නට සිදු වීම හේතුවෙනි.
ප්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 04 – 01 කි.
තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට සිංගප්පූරුව සමත් වුවත් ඊට එක් මිනිත්තුවක් ගත වීමට පෙර ක්‍රියාත්මක වූ විමුක්තිනී කළුආරච්චි ගෝල් තත්ත්වය 01 – 01 ක් බවට පත් කළාය. ඒත් සමගම ප්‍රබල ආක්‍රමණයක නිරත වූ සිංගප්පූරුව 07, 25, 29 සහ 41 වැනි මිනිත්තුවේ දී ගෝල් රැස් කර ගත් අතර 58 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ විමුක්තිනී කළුආරච්චි දෙවන ගෝලය ශ්‍රී ලංකාවට ලබා දුන්නාය. ඒ අනුව ගෝල් 05 – 02ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකාවට සිදු විය. දෙවන භාගය තුළ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය ප්‍රශස්ථ මට්ටමක තිබිණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර