ඇසළ පෙරහැරට පෙර වාසනා හස්තියා කිරිවෙහෙර වැඳ පුදා ගනී

38

චාරිත්‍රාණුකූලව පැවැති බැහුම් ලිහීමේ මංගල්‍යයන් අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ති රාජයා සහ ප්‍රධාන ඇත් ගොව්වා ඇතුළු පිරිස සාම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව වාසනා හස්තියා ඇතුළු පිරිස කිරිවෙහෙර සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබාගැනීම පසුගිය 29 වැනි දින සුබ මොහොතින් සිදු කෙරුණි.

ඇසළ පෙරහැරට පෙර වාසනා හස්තියා කිරිවෙහෙර වැඳ පුදා ගනී

මද ගතිය නිසා (මද කිපීම) වාසනා හස්තියා මාස තුනහාමාරකට ආසන්න කාලයක් වෙන්ව තබා ඇතාට අවශ්‍ය කටයුතු සිදු කෙරුණි. මදගතිය අවසන් වීමෙන් පසු චාරිත්‍රානුකූලව ඇතා තබා තිබූ ස්ථානයෙන් ඉවතට ගැනීම, මහා සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ පසුගිය 26 වැනි දින සිදු කෙරුණි. ඒ අනුව මේ වනවිට වාසනා හස්තියා මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවියන් වැඩම වීමේ කටයුත්තට සහභාගී වීමට සූදානම් කරමින් සිටිනවා. ඊට මත්තෙන් එදා දුටුගැමුණු රජ කාලේ ඉඳන් පැවැත එන සිරිත් පරිදි ඇතා නහවා, පිරිසිදු කිරීමෙන් පසු පළමුවෙන්ම කිරිවෙහෙර නා හිමියන් බැහැ දැක කිරිවෙහෙර සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබාගැනීම චාරිත්‍රාණුකූලව සිදුකෙරෙන කටයුත්තක් බව වාසනා හස්තියාගේ ප්‍රධාන ඇත් ගොව්වා වන අජිත් අශෝක ලියනගේ මහතා මෙහිදි පැවසීය.

කිරිවෙහෙර වැඳපුදාගත් වාසනා හස්තියා කිරිවෙහෙර අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ හා පුරාණ කිරිවිහාරය වැඳ අනතුරුව කතරගම දෙවියන් වෙත පූජා වට්ටියක් තබා බාරහාර ඔප්පු කිරීම සිදුකෙරුණි.

මත්තල- දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment