අවුරුදු වටිනාකම තේරුම් නොගැනීම

58

සිංහල හින්දු අලුත් අවුරුද්ද වටිනා ජාතික උත්සවයකි. සිංහල සහ හින්දු ජාතීන්ට ආවේණික වූ ආධ්‍යාත්මික, සංස්කෘතික ලක්‍ෂණ පිළිබිඹු කරන, සාමයෙන්, සතුටින්, මුළු රට ම එකතු කරන මංගල්‍යයකි.

මේ උතුම් ජාතික උත්සවයේ වටිනාකම නොසිතමින් විනෝදය ගැන පමණක් සිතමින් වාණිජ්‍යත්වය ඉස්මතු කරමින් සැබෑ සිංහල අවුරුද්ද අමතක කර තිබෙන බව පෙනේ. එමෙන්ම මනුෂ්‍යත්වයට පවා නොගැළපෙන අහිතකර ක්‍රීඩා උත්සව සංවිධානය වෙනකොට සැබෑ ජන ක්‍රීඩා සහ සංස්කෘතික වටිනාකම්, අනාගත පරපුරට අහිමි වී යන පසුබිමක් නිර්මාණය වී තිබේ.

සිංහල අලුත් අවුරුද්දට මාස ගාණකට පෙර කිසිදු ප්‍රමිතියකින් තොරව ඝෝෂාකාරී සංගීත සන්දර්ශන මාධ්‍යයේ රෑ පහන් වන තෙක් අවුරුදු උත්සව පැවැත්වෙන බව සැබෑය. එවැනි වාණිජ ප්‍රසංග තුළ මත්ද්‍රව්‍ය භාවිතය සුලබය. තරුණ පරපුර පමණක් නොව ළමා පරපුර ද දුරාචාරයන්ට, අනිසි හැසිරීම්, නරක ඇසුරට යොමුවීමට එවැනි ප්‍රසංග තෝතැන්නක් වී තිබේ. එමෙන්ම එක නගරයක් තුළ සාමූහිකව සහයෝගයෙන් එක් අවුරුදු උත්සවයක් පවත්වනවා වෙනුවට, තම තමන්ගේ බල පරාක්‍රමය විදහා දක්වමින්, දේශපාලන අරමුණු මුදුන්පත් කරමින් පවත්වනු ලබන එම අවුරුදු සැණකෙළි සමාජයේ ජනතාවට දැඩි පීඩනයක් ගෙන දෙන බව ද පෙනේ. එමෙන්ම එම අවුරුදු සැණකෙළි පැවැත්වීමට විශාල මුදල් සම්භාරයක් නාස්ති කරනු ලැබේ. පවතින ආර්ථික අර්බුදය තුළ එවැනි කාබාසිනියා කටයුතු පිළිකුලෙන් හෙළා දැකිය යුතුය. මෙවැනි සැණකෙළි හේතුවෙන් අපේ රට ආර්ථික, සාමාජීක, සංස්කෘතික වශයෙන් පරිහානියකට පත්වීම කනගාටුදායක තත්ත්වයකි.

විදේශීය රටවල පවා මෙවැනි ජාතික උත්සව පවත්වනු ලැබේ. එහෙත් එම උත්සව තුළින් ඒ රටවල ජනතාවට කිසිදු පීඩාකාරී බවක් ගෙන නොදේ. අපේ රටේ ද ජාතික උත්සවලට දේශපාලන මුහුණුවරක් ලබානොදිය යුතු අතර විදේශීය සංචාරකයන් ආකාර්ශනය කරගන්නාසුලු ජාතික උත්සව සංවිධානය කිරීමට ලාංකිකයන් විදිහට අප කටයුතු කළ යුතුය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බල ප්‍රදේශයේ සියලු ම අවුරුදු උත්සව නියාමනය කිරීම පැසසිය යුතු කරුණකි. එමෙන්ම අවුරුදු උත්සව පැවැත්වීම සඳහා පාසල් ඇතුළු රජයේ ගොඩනැඟිලි යොදා නොගන්නා ලෙස සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා කර ඇති ඉල්ලීම ද අගය කළ යුතුය.

අවුරුදු වටිනාකම තේරුම් නොගැනීම

මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්,
මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ
කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment