චතාරික සමය හඳුන්වා දෙමු – වික්ටර් ජයමාන්න පියතුමා

126

චතාරික සමය ස්වාමීන් වහන්සේගේ කල්වාරි ගමන සහ උත්ථානයේ ජීවිතයයි. මේ සමය තුළ කිතුනුවන් හට උරුමව ඇති ක්‍රියාදාමයන් රැසක් කතෝලික සභාව විසින් හඳුන්වා දී ඇත.

පාදනමස්කාරය, පශ්චාත්තාපය, මනස්ථාපය, උපවාසය, එක්වරු ශීලය මෙයින් ප්‍රධාන තැනක් ගන්නා ඒවාය.

මේ සම්බන්ධව වැඩිදුර කාරණා දැනගැනීමට දෙව්මැඳුර වෙනුවෙන් අප හමුවූයේ දළුගම මීසම් පාලක වික්ටර් ප්ලොරන්සිස් ජයමාන්න පියතුමාය. එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වන ලදී.

චතාරික සමය ද කිතුනු දහමේ අනෙකුත් විවිධ උත්සවසේම වැදගත්ම කාලපරිච්ඡේදයකි. මෙහිදී මනස්ථාපය හා උපවාසය මූලිකම අංගයකි. මේ තත්ත්වයට විශේෂයෙන්ම පාත්‍රව, ඒවා අංගසම්පූර්ණව ක්‍රියාවට නගන්නේ වැඩිහිටි පාර්ශ්වයවීම විශේෂත්වයකි.

ඇතැම් තරුණ දූ දරුවන්ද එසේ නොකරනවාම නොවේ. මන්ද තරුණ ජීවිත කාර්යබහුලය.

ශුද්ධෝත්තම පියතුමා ද උපවාසයට මෙවර නව අර්ථකථනයක් ද දී ඇත. ඒ නම් යමෙක් තවත් අයකුගේ සිත් රිදවීමක් හෝ නොකර සිටී නම් එය ද තවත් ධාර්මික වූ උපවාසයක් බවය. අප නිරා ආහාර ශීලයෙන් වැළකී සිටීම සේම අන් අයගේ අගුණ දැකීම, අනුන් විවේචනය කිරීම, ගැරහීම, සේම වෛර කිරීම ද ඉවත්කර ගතහොත් එය ද වඩාත් ඵලදායී උපවාසයක් බවත් උන්වහන්සේ පවසා ඇත.

තමා කෝපයෙන් සිටීම, අනුන් සූරාකෑම, තවත් අයකු රිදවීම ද කළ නොකළ යුතු දේය. මේවා ද උපවාසයන්ය. මේ සියලු පව්වලින් ඈත්ව සිටීම ද එක්තරා අයුරක උපවාසයකි.

චතාරික සමය තුළ පසන් ගායනා කිරීම දුක් ප්‍රාප්තිය සමාජයට පෙන්නුම් කිරීමේ ක්‍රියාදාමයකි. දැන් දැන් එවැනි දේ ද සමාජයෙන් ඈත්ව යන ගතියක් සේ පෙනේ.

එහෙත් ඈත ගම්වල වැඩිහිටි දනන් මේ කාලයට පසන් ගායනා කරනවා ඉඳහිට හෝ ඇසේ. විශේෂයෙන් මීගමුව පුරවරයේ කිතුනු දනන් පසන් ගායනා කිරීම තවමත් සිදු කරමින් පවතී. එය යහපත් ලක්‍ෂණයකි. විශේෂයෙන් තරුණ පරපුර පසන්, ලතෝනි ගීතිකා තුළින් ඈත්ව සිටිනුයේ නව තාක්‍ෂණයට ඇබ්බැහිව සිටිනා නිසා බව පෙනේ.

ඔවුන් පසන් ගීතිකා වෙනුවට වේග රිද්ම ගායනාවලට ඇලුම් කරනුයේ කාලයේ වෙනස ද සමගිනි. මේ වනවිට ලතෝනි හා පසන් ගීතිකා ද නව තාක්‍ෂණය තුළ ගැබ්ව තිබීම හේතුවෙන් ඇතැම් තරුණ පරපුර ඒවාද ශ්‍රවණයට ගෙන ඇසීම ද දක්නට තිබේ. එයද යහපත් වූ ප්‍රවණතාවයක් බව කිව යුතුය.

ඩිජිටල් ක්‍රමයට හෝ නිර්මාණය කොට ඇති පසන්, ලතෝනි ගීතිකා දැන් වෙළෙඳපොළේ ද අලෙවියට ඇත. ඇතැම් අය ඒවා මිලයට ගෙන තම වාහනයේ සිට හෝ ශ්‍රවණය කිරීමත් යහපත් ප්‍රවණතාවක් බැව් කිව යුතුය.

කෙසේ හෝ චතාරික සමය තුළ අප මර්දන ක්‍රියා සිදුකළ යුතුමය. මේ සඳහා රෝගී ජනයා සේම වැඩි වයසට පත් අයද මේ පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. ප්‍රධාන කොට විනෝද ක්‍රියාවලින් ඈත්ව සිටීම මේ සමය තුළ කළ යුතුම දේය.

සටහන හා ඡායාරූපය – ලයනල් පී. පෙරේරා

චතාරික සමය හඳුන්වා දෙමු - වික්ටර් ජයමාන්න පියතුමා
advertistmentadvertistment
advertistmentadvertistment