ඉන්දියාව ලෝක බලවතෙන් කළ සඳ ගමන “චන්ද්‍රයාන් – 3”

649

“චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩබෑම සහ අපගේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් මම යාඥා කළා. ඇත්තටම මේ සමඟ ඉන්දියාව දැන් සුපිරි බලවතකු ලෙස මතුවෙමින් තිබෙනවා යනුවෙන් විශ්ව හින්දු පර්ෂදයේ නායකයකු වන විනෝද් බන්සාල් ප්‍රකාශ කර තිබුණේ පසුගිය බදාදා දිනයේය. එදින පස්වරුවේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්ස වූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත විය.

සැලසුම් කළ පරිදි වික්‍රම් ලෑන්ඩරය බදාදා පස්වරුවේ චන්ද්‍ර පෘෂ්ටය ස්පර්ශ කළේ ය. මේ සමග, ඇමෙරිකාව, රුසියාව සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථක කර ගත් ප්‍රධාන රටවලින් සැදුම්ලත් ගෞරවනීය සමාජයට ඉන්දියාව එක් වී තිබේ. කිලෝග්‍රෑම් 26ක බරින් යුතු ප්‍රග්යාන් (ප්‍රඥාව යන්නෙහි සංස්කෘත වචනය) රෝවරය, සඳ මතට රැගෙන ගියේ, වික්‍රම් ලෑන්ඩරයේ බඳ මත රඳවාගෙන ය. ‘වික්‍රම්’ ලෑන්ඩරය සඳ මතුපිටට ගොඩබැස්ස වූ වහාම “ඉන්දියාව දැන් සඳ මත” යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නිවේදනය කරනු ලැබීය. මෙය ඔහු ලබන වසරේ මුහුණ දෙන මහමැතිවරණයට හොඳ සටන් පාඨයක් වන බව නම් සහතිකය. ඉන්දියාව සඳ මතුපිටට ගිය සැණින් අගමැති මෝදි වහාම රූපවාහිනි තිරය මත පෙනී සිටීම ගැන ඉන්දීය විපක්ෂය චෝදනා කර තිබිණි. කොන්ග්‍රසයේ නායකයකු වන කේ. සී. වෙනුගෝපාල් පවසා තිබුණේ දේශපාලන වාසි ලබා ගැනීමට අගමැතිවරයා කරලියට පැමිණ ඇති බවයි. “අගමැති චන්ද්‍රයාන් -3 ගොඩබෑමෙන් පසු තිරයට පැමිණ ගෞරවය ලබා ගැනීමට ඉක්මන් වුණා. නමුත් විද්‍යාඥයන් වෙත සහාය දැක්වීමේදී මේ ආණ්ඩුව දරුණු ලෙස අසමත් බව කියන්න අවශ්‍යයි. චන්ද්‍ර මෙහෙයුමේ කටයුතු කළ බර ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන්ට පසුගිය මාස 17ක කාලය තුළ වැටුප් ලැබිලත් නැහැ යනුවෙන් කේ. සී. වෙනුගෝපාල් සඳහන් කර තිබිණි.

ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිත අභ්‍යවකාශ යානය පසුගිය ජූලි 14 වන දින දකුණු ඉන්දියාවේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරිණි. ‘වික්‍රම්’ ලෙස හැඳින්වෙන ලෑන්ඩරය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ නිර්මාතෘ වික්‍රම් සාරාබායිගේ නමින් නම් කර තිබේ.

රුසියාව අගෝස්තු 10 වැනිදා ලූනා – 25 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ වඩා බලවත් සෝයුස් රොකට්ටුවක් මගිනි. ලූනා-25 යනු, සෝවියට් සංගමයේ කොටසක් වූ රුසියාව 1976 වසරට පසුව සිදු කළ පළමු සඳ මෙහෙයුම යි. ඇත්තන්ම මේ හරහා ඉන්දියාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තරගයක් ගොඩ නැගී තිබිණි. එහෙත් රුසියාවේ මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳ මතට කඩා වැටී තිබිණි. රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් පසුගිය ඉරිදා උදෑසන ප්‍රකාශ කළේ අගෝස්තු 12 වැනිදා සවස 2:57ට සුළු වේලාවකට පසු ලූනා-25 සමග පැවති සම්බන්ධතා ගිලිහී ගිය බව ය. කිලෝග්‍රෑම් 800ක් බරැති යානය “සඳෙහි පෘෂ්ඨය මත ගැටීම හේතුවෙන් විනාශ වී ගිය” බව මූලික සොයාගැනීම්වලින් පෙනී ගියේ යැයි එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ඉන්දියානු යානය සඳ ස්පර්ශ කිරීමට දින කිහිපයකට ප්‍රථම එනම් පසුගිය 21 හෝ 22 යන දිනවල ලූනා-25 සඳ මත මෘදු ගොඩබෑමකින් අනතුරුව ඉතිහාසගත වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. නමුත් සියල්ල වෙනස් විය. රුසියාව දුවද්දී දැවී ගියේය.

ඉතිහාසය ගැන සටහන් කරන විට 2008 දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ජලය සොයාගත් පළමු යානාව වූයේ ඉන්දියාවේ චන්ද්‍රයාන්-1 ය. එහෙත් චන්ද්‍රයාන් – 1 සඳ මතට ගොඩ බැස්වීමට නොහැකි විය. චන්ද්‍රයාන් – 2 යානය ඉන්දියාවේ ශ්‍රීහරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මුදා හරිනු ලැබුවේ, 2019 ජූලි 22 ඉන්දීය වේලාවෙන් පස්වරු 2.43ටය. ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැය කරමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩ බසින පළමු යානය වනු ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කර තිබිණි ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. යානා තුනක් ඊට ඇතුළත් විය. ‘වික්‍රම්’ නමැති පතිත කරවන ගවේෂණ යානය සඳට ගොඩබෑමට යැවුණි. ඒ, තුළ ‘ප්‍රාග්යාන්’ යන නමින් නම් කළ රොබෝ රෝවර් යානයක් ද විය. රෝවර් යානයක් යනු එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානයකි. අවාසනාවකට ගොඩබෑමට පහත් කරද්දී, ‘ප්‍රාග්යාන්’ සඳට කඩාවැටුණේය. 2019 සැප්තැම්බර් මාසයේ දී ‘ප්‍රාග්යාන්’ සඳට ගොඩබානු දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් මැදිරියට ගොස් සිටියේය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් කඳුළු සලද්දී, ඔහු වැලඳගෙන සැනසුවේ ද අගමැති මෝදි ය. ‘අපි ආයෙත් උත්සාහ කරමු’ ඒ, මෝදිගේ වදන් ය.

ඉන්දියාව ලෝක බලවතෙන් කළ සඳ ගමන "චන්ද්‍රයාන් - 3"

චන්ද්‍රයාන්-1හි ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි පවසන්නේ සඳ වෙත ‘ඇහැ ගහගෙන’ සිටින එකම රට ඉන්දියාව නොවේ – ග්‍රහලොව ගැන ඇති උනන්දුව ගෝලීය වශයෙන් වැඩෙමින් පවතිනවා.

ගැඹුරු අභ්‍යවකාශය වෙත දොරටුවක් ලෙස බොහෝවිට සැලකෙන මේ ග්‍රහලොව ගැන අවබෝධ කර ගැනීමට තවත් බොහෝ දේ තියනවා අපට හඳ ප්‍රත්‍යන්ත මුරපොළක්, ගැඹුරු අභ්‍යවකාශයට දොරටුවක් විදියට සංවර්ධනය කරන්න ඕන නම්, එහෙ තියෙන අමුද්‍රව්‍යවලින් අපට ගොඩනගන්න පුළුවන් මොන විදියේ වාසස්ථානයක් ද, එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට ඕනේ කරන දේවල් ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන දේවල් හොයා බලන්න තවත් ගොඩක් ගවේෂණ සිද්ධ කරන්න අවශ්‍ය යි, ඉන්දියාවේ ගවේෂණවල අවසාන ඉලක්කය තමයි, අපෙන් කිලෝමීටර 360,000ක් ඈත අභ්‍යවකාශයේ තියෙන හඳ යම් දවසකදී පෘථිවියේ විස්තීරණ මහාද්වීපයක් වෙච්ච දවසක අපි නිෂ්ක්‍රීය නරඹන්නෙකු බවට පත්වෙනවා වෙනුවට, අපට ඒ මහද්වීපයේ සක්‍රීය, ආරක්ෂිත ජීවයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න ඕන.” යනුවෙනි.

චන්ද්‍රයාන් 3 සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති වික්‍රමසිංහගෙන් අගමැති මෝදිට සුබ පැතුම් එක්කර තිබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි” යනුවෙනි. එසේම “අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයන් ලෙස ද මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි” යනුවෙන්ද එම සුබ පැතුමේ සටහන්ව තිබිණි.

2019 ජුලි 20 වැනි සෙනසුරාදා අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් අපූරු එළිදරව්වක් සිදු කළේය. එනම් 2024දී අමෙරිකාව මුල්වරට කාන්තාවක් සඳ මතට යවන බවට වූ සුබ ආරංචියයි. හිටපු උප ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කළේ 1969 සඳ මත මුල්වරට පා තබන්නට සඳගාමීන් රැගෙන ඇපලෝ 11 පිටත් වූ ෆ්ලෝරීඩාවේ අභ්‍යවකාශ තොටුපළේදීය. වසර 2024දී කාන්තාවක් රැගෙන සඳ බලා යන්නට නියමිත යානය “ඔරියන් කැප්සූලය” ඔහු අසලම විය. වසර 50කට පෙර ලෝක අභ්‍යවකාශ තරගයේ අංක 01 වන්නට අමෙරිකානුවන් තුළ එදා තිබූ කැකෑරෙන ආශාව තවමත් සංසිඳී නැති බවට මේ හොඳම නිදසුනය. මීට දශක පහකට පෙර සඳට ගිය මුල් ගමනේදී ද අමෙරිකාවට ඒ සඳහා තිබුණේ දැඩි කඩිමුඩියකි. එකල ලෝකයේ ලොක්කා වන්නට අමෙරිකාව සහ රුසියාව අතර වූයේ සීතල යුද්ධයකි. යූරි ගගාරින් අභ්‍යවකාශ තරණය කළ විට අමෙරිකාව මේ ජයග්‍රහණය දුටුවේ තමන් දෙවැනි වීමක් හැටියටය. මේ නිසාම අභ්‍යකාශ කටයුතු සඳහා වෙන්වූ ලොව විශාලම ආයතනය ඔවුන් බිහි කළේය. එය අප දන්නා නාසා ආයතනයයි. එහි මුල් සේවක පිරිස පමණක් 34000ක් විය.

මීට වසර 54 කට පෙර සිදුවූ සඳ මෙහෙයුමේ සම්පූර්ණ කාලය දින අටකුත් පැය තුනක්, විනාඩි දහ අටක් සහ තත්ත්පර තිස් පහක් ලෙස ගණනය කර තිබිණි. 1969 ජූලි මස 16 වැනිදා අමෙරිකානු වේලාවෙන් දහවල් එකයි තිස් දෙකට යානය චන්ද්‍රයා කරා පියැසැරිය ඇරඹීය. ඒ යානය තුළ නීල් ආම්ස්ට්‍රොන්ග්, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රීන් සිටියදීය. මේ වීරයන් තිදෙනා පෘථිවියෙන් බැහැරට යමින් සිටියේ මිනිස් වර්ගයාගේ තානාපතිවරුන් වශයෙනි. ජූලි 16 වැනි දින ගමන ඇරඹුවද සඳේ කක්ෂය කරා ගමන් කිරීමට අභ්‍යවකාශ යානයට දින තුනක් ගත විය. සඳේ කක්ෂයට ළඟා වූ පසු යානයේ අදාළ කොටස වෙන්ව ගොස් සඳ මතුපිට දක්වා ගමන් කිරීමට නියමිත කොටස ක්‍රමයෙන් සඳ මතුපිටට පැමිණීමට නියමිතව තිබිණි. මේ දක්වා සියල්ල පෘථිවියේදී සැලසුම් කළ පරිද්දෙන්ම සිදුවෙමින් පැවති අතර යානය පහත් වීමට නියමිතව තිබුණේ ‘නිසල මුහුද’ ලෙස ඔවුන් පෙර නම් කරන ලද ප්‍රදේශය වෙතය. මයිකල් කොලින්ස් යානයේ නියමු මැදිරියේ රැඳී සිටි අතර සඳ ආසන්නයටම පැමිණියද සඳ මතුපිට පය තැබීමේ වාසනාව ඔහුට හිමි වූයේ නැත. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රීන් රැගත් යානය සඳ කරා ගමන් කිරීම අරඹන විට පෘථිවිය මත හරියටම ජූලි 20 වැනිදාව උදාවෙමින් පැවතිණි. ප්‍රධාන යානයෙන් සඳ වෙත යෑමට නියමිත වූ කුඩා යානය නම් කර තිබුණේ ඊගල් යනුවෙනි. ඊගල් සඳ වෙත පදවාගෙන යෑමේ ප්‍රධාන වගකීම පැවරී තිබුණේ යානයේ ප්‍රධාන නියමු නීල් ආම්ස්ට්‍රෝන්ටය. ඔහු සහ ඔල්ඩ්‍රීන් එකතුව ඊගල් සඳ මතුපිටට ගෙන එන විට පෘථිවියේ වේලාවෙන් රාත්‍රී 8ට ආසන්න විය. හරියටම රාත්‍රී 8.17 ඊගල් යානය සඳ මත ආරක්ෂිතව පතිත කිරීමට අභ්‍යවකාශගාමීන්ට හැකි විය. ඊගල් යානය සඳ මත පතිත වී පැය හය හමාරක් ගත වූ පසු යානයේ දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි වීර අභ්‍යවකාශගාමීන් දෙදෙනා ප්‍රථම මිනිස් පියවර සඳ මත සලකුණු කළහ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment