ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ සංචාරය අවලංගු කෙරුණේ චීන නැව නිසාද?

418

ඉන්දියාවට අවශ්‍ය ආකරයට ලංකාවේ සබඳතා පාලනය කළ නොහැකිය. චීන නැවක් නොව සබ්මැරීනයක් පවා ලංකාවට පැමිණීමට අවසරය ලබා දිය යුතුය. චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය.

ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සින් සෙනසුරාදා හා ඉරිදා දිනවල ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණද හදිසියේම එම සංචාරය අවලංගු කරන ලදී. සංචාරය අවලංගු කරන බව නිවේදනය කරනු ලැබුවේ ඔහු ලංකාවට පැමිණීමට පැය හයකට පෙරය. ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා ත්‍රිකුණාමලයේද සංචාරය කිරීමට නියමිතව තිබුණත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ යළි පැමිණෙන දිනය පසුව ප්‍රකාශ කරන බවය. ඉන්දියාව හා පාකිස්තානය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග කරන විට ඉන්දීය ඇමැතිවරයා ලංකාවේ නැගෙනහිර පාළාතට ගොඩබැසීමට නියමිත විය. රාජ්නත් ඇමැති ලංකාව හදිසියේ මග හැරියේ ඔක්තෝම්බර් මාසයේ ලංකාවට පැමිණෙන චීන නැව නිසාද? ෂි යැන් 6 නැමති අදාළ චීන පර්යේෂණ නෞකාවට දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දී ඇති අතර එය ඔක්තෝම්බර් 26 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ෂි යැන් 6 නෞකාව ඔක්තෝබර් 26 වැනිදා කොළඹ වරායට පැමිණ නොවැම්බර් 10 වැනිදා දක්වා දින 17ක් එහි රැඳී සිටීමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමට නියමිතය. මේ නැව නිසා ඉන්දීය ආරක්ෂක අංශ කලබලයට පත්ව තිබේ. චීන පර්යේෂණ යාත්‍රාව කොළඹ සහ හම්බන්තොට වරායට පැමිණීම නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල ඉරිතැලීමක් සිදුවන බව ඉන්දියාවේ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් එරට THE WEEK සඟරාවට පවසා තිබිණි. චීන නැව ලංකාවට පැමිණ නාරා ආයතනය සමග එක්ව සමුද්‍ර ගවේෂණයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ක්‍රියාත්මක වන චීන පර්යේෂණ සහ සමීක්ෂණ නැව් ආන්දෝලනයට ලක්ව ඇත්තේ ඉන්දීය ආරක්ෂක අංශ මේ ගැන බරපතළ සැකයෙන් පසුවන නිසාය. මෙරටට පැමිණි පර්යේෂණ නෞකා අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව නිසා දිල්ලි ආණ්ඩුව බලවත් කැලඹීමකට පත්විය.

පසුගිය වසර තුනේදී ලංකාවට විවිධ රටවල යුද නෞකා 126ක් පැමිණ ඇති නමුත් ඉන්දියාව කලබල වන්නේ චීන නැවක් කොළඹට පැමිණි විටදී පමණි. 2020 වසරේදී මෙරටට යුද නෞකා 43ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 15ක් ඉන්දියාවෙන් ද, තවත් නෞකා 09 ක් ජපානයට අයත් බව ද නාවික හමුදාව විසින් නිකුත් කර ඇති දත්තවල සඳහන් වේ. එමෙන්ම 2021 වසරේදී මෙරටට පැමිණි යුද නෞකා සංඛ්‍යාව 36ක් වන අතර ඉන් නෞකා 12ක් අයත් වන්නේ ඉන්දියාවටය. එම වර්ෂයේදී රුසියාවට අයත් B-274 සහ B-603 යන විශාල ප්‍රමාණයේ සබ්මැරින් දෙකක් කොළඹ වරයාට පැමිණ ඇත. 2022 වසරේදී යුද නෞකා 31ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් නෞකා 14ක් අයත් වන්නේ ඉන්දියාවටය. මේ වසරේ දක්වා යුද නෞකා 16ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 04ක් ඉන්දියාවට අයත් වන අතර නෞකා තුනක් ඇමෙරිකාවට අයත් වේ.

චීනයත් ඉන්දියාවත් අතර පවතින්නේ අනවරත බල අරගලයකි. ආසියාවේ බලවතා වීම මේ දෙරටේම අරමුණය. එහෙයින් ගිය වසරේ අගෝස්තු මාසයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ හැකියාව ඇති චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම තම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සැලකුවේය. වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා පැමිණෙන ‘යුවාන් වැන්ග් 5’ නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධයක් මතුව තිබුණේ එය කලාපීය ආරක්ෂාවටද තර්ජනයක් බව පවසමිනි. ඉන්දීය මාධ්‍යවලට අනුව මෙම නෞකාවට කිලෝමීටර් 750 කට වඩා ඉහළ ගුවන් ප්‍රවේශ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. ඒ අනුව දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කුඩන්කුලම් වැනි ඉන්දියානු පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම කේරළය, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් වරාය ඇතුළුව දකුණු ඉන්දියානු වරාය 6ක් පමණ නිරීක්ෂණය කිරීමේ හැකියාවද පවතින අතර නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉන්දීය නාවික හමුදා කඳවුරු පිළිබඳ මේ හරහා චීනය බුද්ධි තොරතුරු ගවේෂණය කරන බවට දිල්ලියට බලවත් සැකයක් ඇතිව තිබිණි. චීන ඉන්දියා බල අරගලය නිසා ලංකාව ගිරයට අසුවූ පුවක් ගෙඩිය මෙන් විය.

සිතියමක් සම්බන්ධව චීනය ආණ්ඩුව හා ඉන්දියාව අතර රාජ්‍යත්‍රාන්ත්‍රික අර්බුදයක් පැන නැඟුනේ පසුගිය සතියේය. මේ නිසාම චීන ජනපතිවරයා ලබන 09 හා 10 දිනවල නව දිල්ලියේ පැවැත්වෙන ජී. 20 සමුළුව සඳහාද සහභාගි නොවන බව දන්වා ඇත. මේ සමුළුවට චීනය නියෝජනය කරමින් එරට අගමැතිවරයා සහභාගි වනු ඇත. දිල්ලි සමුළුව සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ද සහභාගි වේ. චීන ආණ්ඩුවේ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් මෙම නව සිතියම ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය සඳුදා දිනයේදීය. එයින් සතියකට පමණ පෙර චීන හා ඉන්දියානු නායකයන් දකුණු අප්‍රිකාවේ හමුවී සකාච්ඡා පවත්වා තිබුණු නමුදු දෙරටේ ගැටුම අනවරතය. එය සීතල යුද්ධයකි. නව සිතියමට අනුව තායිවානය චීනයට අයත් ප්‍රදේශයකි. එසේම ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව නිල චීන භූමි ප්‍රදේශයක් ලෙස පෙන්වීමත් සමඟ නව දිල්ලිය කලබලයට පත්ව තිබේ. ඉන්දිය විදේශ ඇමැති ජයිශන්කර් පවසා තිබුණේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. නමුත් චීනය දිල්ලිය ප්‍රකෝප කරන්නේ මන්ද? අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසියානු තරගාවලිය සඳහා චීනයට යන ක්‍රීඩකයන්ට එරට තානාපති කාර්යාලයෙන් නිකුත් කරන්නේ ස්ටේපල් ගැසූ වීසාවකි. මෙයින් කියන්නේ චීනය අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිනොගන්නා බවයි. චීනය කියන්නේ ඉන්දියාව තම භූමියෙන් වර්ග කිලෝමීටර් 90000ක් අල්ලාගෙන සිටින බවත් අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය යනු දකුණු ටිබෙටය බවයි. පසුගිය අප්‍රේල් මාසයේදී චීන ප්‍රකාශිකාවක් සඳහන් කර තිබුණේ දකුණු ටිබෙටය සෑමවිටම තමන්ගේ භූමිය බවයි. මේ අතර ඉන්දීයා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය හා ටිබෙටය බටහිර චීනයට සම්බන්ධ කරන ඉහළ උන්නතාංශ උපාය මාර්ගික කොරිඩෝවක් වන අක්සායි චින් ඉන්දියාවට අයත් බවත්, චීනයේ මායිම් පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ බවත්, මෙලෙස දේශ සීමා සිතියමක් නිකුත් කිරීම කිසිදු පදනමක් නොමැති බැවින් මෙම සිතියම ප්‍රතික්ෂේප කරන බවයි. ඉන්දියාව සමග එක්ව මැලේසියානු රජය විසින් ද මේ සිතියමට එරෙහිව විරෝධය පළකර ඇත්තේ තම මුහුදු සීමාවේ කොටසක් ද මේ හරහා චිනය විසින් එක්කරගෙන තිබෙණ නිසාය. ඉන්දියාව චීනය කොටුකර ගැනීමට දඟලන අතර චීනය ද දිල්ලිය ආණ්ඩුව එකවිට වික්ශිප්ත කරයි. චීනය හොලවන්නට උඩඟු බ්‍රහ්මණයන්ට නොහැකිය. එය ප්‍රකට සත්‍යයකි.

එහෙත් ඉන්දියාවට අවශ්‍ය ආකරයට ලංකාවේ සබඳතා පාලනය කළ නොහැකිය. චීන නැවක් නොව සබ්මැරීනයක් පවා ලංකාවට පැමිණීමට අවසරය ලබා දිය යුතුය. චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය. මේ යාත්‍රා කොළඹට පැමිණීම ගැන ඉන්දීය ආණ්ඩුව කොහෙත්ම කැමති වූයේ නැත. එය දිල්ලි ආණ්ඩුවේ බ්‍රාහ්මණ වංශිකයන්ගේ ඇස් රතුකරන්නක් විය.

චැන්ග්චෙන් – දෙක නම් චීන සබ්මැරීනය නම් තවත් සබ්මැරීනයක් ද සමඟ එම වසරේ ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායට සේන්දු වූ අතර නොවැම්බර් පස් වෙනි දින කොළඹින් පිටත්ව ගොස් තිබිණි. චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන විමසීමක් කළ විට ආරක්ෂක තොරතුරු පිළිබඳ ජේන් වීක්ලි බි්‍රතාන්‍ය සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසීයට පවසා තිබුණේ මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරන බවයි. ඇත්තෙන්ම 2015 ජනවාරි වෙනසට මේ ‘සබ්මැරීන්’ ගමනද බෙහෙවින් බලපෑවේය. දේදුනු සන්ධානය සඳහා ඉන්දියාවේ නොමසුරු ආධාරය ලැබුණේ චීන බලයට එරෙහිවය. 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට එක් හේතුවක් ලෙස ඇතැම් විශ්ලේෂකයන් දැක්වූයේ චීන වරාය නගර ව්‍යාපෘතියයි. මේ මේවා අතීත කතා වුවත් ඉතිහාසය යළි යළිත් පුනුරුච්චාරණය වෙයි. 2017 දී හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දුන් විට වැඩියෙන්ම කලබලයට පත්වූයේ ඉන්දියාව හා ඇමෙරිකාවයි. ඩොලර් බිලියන 1.5 ක් වටිනා වරාය චීන හමුදා කඳවුරක් බවට පත්විය හැකි බවට එක්සත් ජනපද සහ ඉන්දියානු නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටිති. ඒ කනස්සල්ල ලෙහෙසියෙන් ඉවත්වන එකක්ද නොවේ. එහෙත් මේ දූපත නිරන්තරව ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව ඇති බව නම් සහතිකය.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment