වරෙන්තු අවලංගු කරන්නැයි කම්කරු ලේකම් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

1039

තමන් අත්අඩංගුවට ගැනීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය අවලංගු කරන ලෙසට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඒ. පී. විමලවීර මහතා සිය නීතිඥවරුන් මගින් කළ ඉල්ලීම පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් ඊයේ (03දා) ප්‍රතික්ෂේප කරන ලදී.

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබාදුන් විට ඉහළ අධිකරණය හමුවට පැමිණ එය අවලංගු කරවා ගැනීම රටේ ඉහළ තනතුරු දරන නිලධාරීන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය පුරුද්දක් කරගෙන ඇති බවත්, තම අධිකරණය එකී ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත නොකරන බවත්, විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහාධිකරණ විනිසුරුවරයා රටේ වගකිව යුතු තනතුරක් දරන එම පෙත්සම්කාර නිලධාරියා කළ යුත්තේ නීතියට හිස නමා වහාම මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් භාරවී වරෙන්තුව ආපසු කැඳවන ලෙසට ඉල්ලීමක් කිරීමක් වන්නේ යැයි ද පැවසීය. හොරණ මහෙස්ත්‍රාත්වරයා විසින් එකී වරෙන්තුව නිකුත් කිරීම හා එම නඩුවේ සැකකරුවකු ලෙස ඔහු නම් කරන ලෙසට නියෝගයක් ලබාදී ඇත්තේ සියලු කරුණු මනාව සලකා බලා පැවරී ඇති බලතල අනුව බැවින් නීතියට අනුකූලව ලබාදී ඇති එකී නියෝග ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද පැවසූ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඉහළ අධිකරණ පවතිනුයේ මහෙස්ත්‍රාත් අධිකරණ වැනි පහළ අධිකරණ මගින් නීතියට අනුකූලව ලබාදෙනු ලබන එවන් නියෝග, තීන්දු, තීරණ මත වන්නේ යැයි ද විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා තම අධිකරණය තීන්දු තීරණ ලබාදෙනුයේ ඉදිරිපත් වන සාක්‍ෂි මත පිහිටා නීතියට අනුකූලව මිස අනෙකුත් පරිභාහිර කරුණු සලකමින් නොවන්නේ යැයි ද පැවසීය. සිය සේවාදායකයා අධිකරණයට භාරවීමට පෙර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් පවතින බැවින් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි සැකකාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම වරෙන්තු නිකුත් කර දින 10ක් ගතවන තුරුත් එකී නියෝගය අනුව කටයුතු නොකළ පොලිසිය තවත් කාලයක් බලා සිටිනු ඇතැයි ද මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

2019 වසරේදී හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක් තුළදී සිදුවූ මරණ කිහිපයක් සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට අසත්‍ය කරුණු පදනම් කරගෙන හෝ නඩු පවරන ලෙසට කම්කරු දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් පරීක්‍ෂක ඉංජිනේරුවරයාට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවකු ලෙස එවකට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආර්. ඒ. පී. විමලවීර මහතා නම් කළ හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඔහු දින 7ක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසටත් එම වරෙන්තුව පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසටත් පසුගිය 24 වැනිදා පොලිසියට නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment