වව්නියාව බන්ධනාගාරයේ වසූරිය ද සරම්ප ද?

165

වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් හයදෙනකු වසූරිය රෝග ලක්‍ෂණ පළ කිරීමත් සමග එහි සිටින සියලු රැඳවියන් එන්නත්කරණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඊයේ (03 වැනිදා) පියවර ගෙන තිබිණි.

අදාළ රැඳවියන් සිව්දෙනාට වැළඳී ඇත්තේ වසූරිය හා සරම්ප බවට මත දෙකක් පළවී ඇතත් මේ දක්වා රෝගය කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන නැත.

එම තත්ත්වය යටතේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් හාරසියයක පමණ පිරිසක් මෙලෙස එන්නත්කරණයට ලක් කිරීමට නියමිත අතර රෝගී රැඳවියන් හය දෙනා සෙසු රැඳවියන්ගෙන් වෙන්කර තැබීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

වව්නියාව බන්ධනාගාරයේ සියලුම රැඳවියන් බාහිර පුද්ගලයන් සමග සම්බන්ධවීම ඉකුත් 29 වැනිදා සිට තවකාලිකව නතර කරමින් බන්ධනාගාරය සම්පූර්ණයෙන් වසා දැමීමට ද බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබූ අතර එය ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම කාලයේ දී අධිකරණ කටයුතු සඳහා රැඳවියන් පිටතට ගෙන යෑමක් ද සිදු නොවන බවත් අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු රැඳවියන් සූම් තාක්‍ෂණය ඔස්සේ නඩුවලට යොමු කිරීමට තීරණය කර ඇති බවත් වව්නියාව බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවසීය.

පවතින තත්ත්වය සමනය වීමෙන් පසු බන්ධනාගාරය ලබන 15 වැනිදා යළි විවෘත කිරීමට දැනට තීරණය වී ඇතැත් එය ද අවිනිශ්චිත බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධියත් සමග වව්නියාව බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව දැඩි කිරීමට ද බලධාරීන් කටයුතු යොදා තිබේ.

සමන් ගමගේ සහ දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment