උත්සව සමයට හොර ස්ටිකර්වලින් එන මත්පැන් වැටලීම් වැඩිකරනවා

89

සුරාබදු කොමසාරිස් ජනරාල්

උත්සව සමය මුල්කරගෙන ව්‍යාජ ස්ටිකර් ඇතුළු අක්‍රමිකතා සිදුකරන මත්පැන් නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩිකරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උතුරු – නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් සොයාගත් බවත්, එම වැටලීම් දිවයින පුරා සිදුකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඒ මහතා පැවැසීය. ඒ අනුව සෑම සතියකම ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් සහ අක්‍රමිකතා සිදුකරන නිෂ්පාදන සම්බන්ධයෙන් නිලධාරීන් විමර්ශන සිදුකරන බවද ඔහු කීය.

සහකාර සුරාබදු කොමසාරිස්වරුන් යොදවා මේවා අධීක්‍ෂණය කරන බවත් නීතිවිරෝධී කටයුතු කළ අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

වැටලීම්වලදී අත්අඩංගුවට ගත් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් කිහිපයක් රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවද එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද පසුගිය වකවානුවේ අදහස් දක්වා තිබූ අතර ව්‍යාජ ස්ටිකර් නිසා වසරකට රුපියල් කෝටි 600 ක බදු ආදායමක් රජයට අහිමිවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment